Friday, December 22, 2017

උතුරු කොරියා සෙබළෙක් දකුණු කොරියාවට පළා යයි

සෝල්හිදීය (ඒ.එෆ්.පී)
කොරියානු අර්ධද්වීපය දෙකට බෙදෙන යුද මුක්ත කලාපය ඔස්සේ උතුරු කොරියානු සොල්දාදුවකු දකුණු කොරියාවට පලා ඇවිත් ඇතැයි වාර්තා වේ. 

යුද මුක්ත කලාපයට දෙරටින්ම දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර සති පහක කාලයක් ඇතුළත උතුරු කොරියානු සොල්දාදුවකු දකුණු කොරියාවට පළා ගිය දෙවැනි අවස්ථාව මෙය වේ.  උතුරු කොරියානු සොල්දාදුවකු  පළා එන අයුරු දකුණු කොරියානු සොල්දාදුවන් තම නිරීක්ෂණ උපකරණවලින් දැක තිබේ. ඔහු දකුණු කොරියාවට පැමිණීමෙන් විනාඩි 90කට පසු වෙඩි හුවමාරුවක් සිදු වූ බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. 

උතුරු කොරියානු සොල්දාදුවා දකුණු කොරියාවට පලාවිත් තිබෙන්නේ ඊයේ (20) රාත්‍රී කාලයේ බව පැවසේ. එම අවස්ථාවේදී දෙරට අතර කිසිදු වෙඩි හුවමාරුවක් සිදු නැතිමුත් ඉන් විනාඩි 90කට පසු උතුරු කොරියානු හමුදා පලාගිය සහෝදර සොල්දාදුවා සොයමින් දේශසීමා කලාපය වෙත පැමිණ තිබේ. ඔවුන්ට අනතුරු ඇඟවීම සඳහා දකුණු කොරියානු හමුදා කේ 3 මැෂින් තුවක්කුවලින් වාර 20ක් වෙඩි තබා තිබේ. ඉන් අනතුරුව උතුරු කොරියාව දෙසින් ද වෙඩි හඬ ඇසුණ ද දේශසීමාව හරහා වෙඩි උණ්ඩ හුවමාරු වූ බවට තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

ඊයේ (20) රාත්‍රීයේ දකුණු කොරියාවට පැමිණි උතුරු කොරියානු සොල්දාදුවද සමඟ යුද මුක්ත කලාපය හරහා මේ වසරේදී දකුණු කොරියාවට පැමිණි උතුරු කොරියානු සොල්දාදුවන්ගේ ගණන හතරක් වනු ඇත. එම සොල්දාදුවන් සිව්දෙනාද ඇතුළුව උතුරු කොරියාවෙන් සෘජුවම දකුණු කොරියාවට පලාගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 15ක් බවත් එය 2016 වසර හා සැසඳීමේදී තුන් ගුණයකින් වැඩි වීමක් බවත් දකුණු කොරියා වාර්තා සඳහන් කරයි. 

වසර 1950-1953 කාලයේ පැවැති කොරියානු යුද්ධයෙන් පසුව දරිද්‍රතාව ආදී විවිධ හේතූ නිසා උතුරු කොරියානුවෙන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවට පලා ගොස් ඇතැයි පැවසේ. 
ඡායාරූපය ඒ.එෆ්.පී


ලාංකිකයා හරවා එව්වාට එක්සත් ජාතීන්ගේ විරෝධය

හර්ෂණ තුෂාර සිල්වා
සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් ඕස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලාංකිකයකු බලහත්කාරයෙන් නැවත ශ්‍රී ලංකාවට යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විරෝධය පළ කර තිබේ.  
 
බ්‍රිතාන්‍යයේ  ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය ඇතුළු විදෙස් පුවත් සේවා කිහිපයක් මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ඇගයීමක් නොකරමින් එම ශ්‍රී ලාංකිකයා හරවා යැවීමෙන් ඔහු සිය මවු රටේදී දඬුවම් ලැබීමේ අවදානමකට පත්ව ඇතැයි ද මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානය සඳහන් කරයි. 
 
ඕස්ට්‍රෙලියාව සරණාගතයන් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා ඇති බැවින් මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක් යැයි ද එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයේ ප්‍රකාශිකා කැතරීන් ස්ටබර්ෆීල්ඞ් පවසා ඇත. 
 
අදාළ පුද්ගලයා නැවත ශ්‍රී ලංකාවට නොයවා සරණාගත තත්ත්වයට ඉල්ලුම් කිරීමට අවස්ථාව දෙන්නැයි එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානය ඕස්ට්‍රෙලියානු රජයෙන් සහතිකයක් ඉල්ලා ඇතැයි ‘ද ගාඩියන්” පුවත් සේවය වාර්තා කර තිබේ. 
 
කෙසේ නමුත් එම පුද්ගලයා බලහත්කාරයෙන් නැවත ලංකාවට එවා ඇතැයි ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරයි. අදාළ ශ්‍රී ලාංකිකයා ඉල්ලුම් කර ඇත්තේ අදාළ දිනයට පසුව යැයි ඕස්ට්‍රෙලියානු රජය ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් අදාළ ශ්‍රී ලාංකිකයා කරන ඉල්ලීම විශ්වාසනීය ඉල්ලුම් කිරීමක් යැයි ඔහු වෙනුවෙන් පෙනි සිටි නීතිඥයන් පෙන්වා දී ඇත. යුදමය වශයෙන් පරාජයට පත්වූ බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සමීප සබඳතාවක් තිබී ඇතැයි ද එම නීතිඥයන් පෙන්වා දී තිබේ.  එසේ වුවද ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයකු නොවන බවත් එම නීතිඥයන් උපුටා දක්වමින් ‘ද ගාඩියන්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 
 
ආරක්ෂාව සඳහා ඉල්ලුම් කරන පිටු 41ක අයදුම් පත්‍රය ඉංග්‍රිසි බසින් තිබූ බැවින් ද ඒ සඳහා නීතිමය සහාය ලබාගැනීමට නොහැකි වූ බැවින් ද එම පුද්ගලයාට නියමිත දිනට අයදුම්පත්‍රය ලබා දීමට නොහැකි වී තිබේ. 
 
ඕස්ටේ්‍රලියානු රජයේ නව සංක්‍රමණික නීතිරීතිවලට අනුව නීති විරෝධී ලෙස  ඕස්ටේ්‍රලියාවට පැමිණෙන සහ සරණාගත තත්ත්වය හිමි නොවන සියලු දෙනා නැවත එම රටවලට හරවා යවයි. එලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාට නඩු පැවරීමක් ද සිදු කෙරේ. 
ඡායාරූපය ඒ.එෆ්.පී - ලක්රුවන් වන්නිආරච්චි


‘100 පෙරගෙවුම් කාඩ් පතේ 33%ක් බදු‘

නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක නව වැට් බද්ද සහ ජාතිය ගොඩ නැගීමේ බද්දත් සමඟ රුපියල් සියයක දුරකතන පෙරගෙවුම් කාඩ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක් බදු ලෙස අයවන බව  රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අද (28) ප්‍රකාශ කළහ. 

දුරකතන සන්නිවේදන සේවාවලදී වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්දට අමතරව බදු වර්ග දෙකක් අයවන බවත් ඔවුහු කීහ. ඒ අනුව දුරකතන සේවාවලදී ඉහත බදු දෙකට අමතරව සෙස් හා විදුලි සංදේශ බදු ද අය වේ. 

එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්දට අදාළ සංශෝධන සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුහු එම කරුණු කීහ. 

දුරකතන සන්නිවේදන සේවා සැපයීමේදී සෙස් බද්ද සියයට 2ක්, විදුලි සංදේශ බද්ද සියයට 25ක්, ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2ක් සහ එකතු කළ අගය මත බද්ද සියයට 15ක් ලෙස අය වන බවත් ඒ සඳහා අදාළ සූත්‍රයක් වන බව ත් ඔවුහු කීහ.

සේවා සපයන්නාගේ ගාස්තුව රුපියල් සියයක් නම්, බදු ලෙස රුපියල් පනහක් අය වන බවත්, ඔවුහු පැවැසූහ. දුරකතන සේවා සමාගමට රුපියල් සියයක් අය වන බව ද කීහ. ඒ අනුව ගාස්තුවෙන් සියයට පනහක් නොව, රුපියල් පනහක් ගාස්තුව ලෙස අයවන බව ද ඔවුහු පැවැසූහ. ඒ අනුව ගාස්තුව එකසිය පනහක් නම් බදු ලෙස අය වන්නේ සම්පූර්ණ ගාස්තුවෙන් තුනෙන් එකක් යැයි ද ඔවුහු ප්‍රකාශ කළහ. 

ඒ අනුව රුපියල් සියයක පෙර ගෙවුම් කාඩ්පතක් භාවිත කරන්නේ නම් ඉන් තුනෙන් එකක්, එනම් රුපියල් 33 ක් බදු වන අතර ඉතිරි රුපියල් 67 දුරකතන ගාස්තු ලෙස අයවන බව ද අන්තර්ජාල සේවාවලදී විදුලි සංදේශ බද්ද ලෙස අය වෙන්නේ සියයට 10ක් වන බැවින් අන්තර්ජාල ගාස්තු දුරකතන සේවා ගාස්තුවලට අඩු බව ද එම නිලධාරීහූ වැඩිදුරටත් කීහ.
  
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඒ.කේ සෙනෙවිරත්න, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.අයි එරන්ද සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ බදු ප්‍රතිපත්ති උපදේශික තනූජා පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

දීර්ඝ කාලීන සාමයට බාධා කරන ආණ්ඩුවේ පිරිස්වලට ඉඩ දෙන්න එපා

(හර්ෂණ තුෂාර සිල්වා)

දීර්ඝ කාලීන සාමයක් උදා කරගැනීමට සහ වාර්ගික අර්බුදයට විසඳුමක් දීම සඳහා කරගෙන යන ක්‍රියාවලිය අනෙක් අතට හැරවීමට උත්සාහ කරන ආණ්ඩුව තුළ සිටින ඇතැම් කොටස්වලට ඉඩ නොදීමට ශ්‍රී ලංකා රජය හා ජනතාව කටයුතු කළ යුතු යැයි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා අද (14) ප්‍රකාශ කළේය. 
වසර 26ක් මුළුල්ලේ පැවැති යුද්ධය සමයේදී සහ ඉන් පසු කාලයේදී සිදු වූ දරුණු මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිවක් කර නැතැයි ද එමර්සන් මහතා එහිදි කීය.
ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මහතා පස්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි බෙන් එමර්සන් මහතා එම සංචාරය අවසන් කරමින් කොළඹ තුන්මුල්ල එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අදහස් පළ කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබා දුන් වසර දෙකක දිගුවෙන් මාස හතරක් ගෙවී ගොස් තිබුණ ද කවුන්සිලය හමුවේ ඉටු කිරීමට පොරොන්දු වූ ප්‍රධාන අරමුණු ළඟා කරගැනීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ඉතාමත් පහළ මට්ටමක පවතින බවත් ඇතැම් අවස්ථාවලදී එම ඉලක්කවලට ගමන් කරන බවක් හෝ නොපෙනෙන බව ද හෙතෙම කීය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම තීරණය වන්නේ අදාළ වසර දෙකක කාලසීමාව අවසානයේදී බව පැවැසූ බෙන් එමර්සන් මහතා සත්‍ය ප්‍රගතියක් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංක්‍රාන්ති යුක්තියක් ස්ථාපිත කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැතැයි ද කීය. 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන ත්‍රස්ත විරෝධී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ගේ, පාර්ලිමේන්තුවේ සහ මහජන උපදෙස් ලබා නොගැනීම කනගාටුවට කරුණක් බව ද ඔහු කීවේය. 

(ඡායාරූප-ශාන්ත රත්නායක)




Tuesday, August 22, 2017

දියවැඩියාවට පිළිමයක්

දවසකට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීමෙන් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය පාලනය කළ හැකි යැයි මෑතකදී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
කෙටි කාලයක් තුළ බර අඩු කරගැනීමට දිනකට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීම ඔස්සේ (ක්‍රෑෂ් ඩයට්) මෙසේ දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය අඩු කරගත හැකි බව එම පර්යේෂණයේදී අනාවරණය වී ඇත. සිරුරේ බර සියයට දහයකින් අඩු කරගැනීම මඟින් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වය සියයට 90කින් අඩු කරගත හැකි බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
ලොව වේගයෙන්ම වර්ධනය වන නිදන්ගත රෝගී තත්ත්වය ලෙස සැලකෙන්නේ ද දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වයයි. ‘ද ග්ලෝබල් ප්‍රිවීව් ස්ටඩි’ ආයතනය විසින් ලොව ජාතීන් අටක් යොදාගනිමින් මෙම පර්යේෂණය සිදු කර තිබේ. මෙම දියවැඩියා තත්ත්වය සුව කළ නොහැකි බව මීට පෙර විද්‍යාඥ්‍යන් ප්‍රකාශ කර තිබිණි.
මෙම පර්යේෂණය සඳහා දියවැඩියා රෝගයෙන් තොර එහෙත් එය ඇතිවීමේ අවදානම සහිත 2300ක පිරිසක් යොදා ගෙන ඔවුන්ට සති අටක කාලයක් පුරා දිනකට කැලරි 800ක් සහිත ආහාර වේලක් ලබා දී ඇත. ඔවුන්ට ලබා දී ඇත්තේ සුප් හා මිල්ක්ෂේක්ස් පමණි. එමෙන්ම ඔවුන් දෛනිකව ව්‍යයාමවල නිරත වී ඇති අතර එය ඔවුන්ට දියවැඩියාව ඇති වීමේ අවදානම වැඩි අගයකින් අඩු කර ඇති ඇතැයි පර්යේෂකයෝ පවසති.
මෙම සති අටක කාලය තුළ දී පර්යේෂණයට සම්බන්ධ වූ පිරිසගේ බර කිලෝග්‍රෑම් දහයකින් එසේත් නැතිනම් සිරුරේ බරෙන් සියයට 10.8ක ප්‍රමාණයක් අඩු වී ඇතැයි ද පර්යේෂණයේදී අනාවරණය වී ඇත.
මේ ආකාරයෙන් වසර තුනක කාලයක් කටයුතු කළහොත් දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගය ඇති වීමේ අවදානම බොහෝ දුරකට නවතා ගත හැකි බව පර්යේෂකයෝ තවදුරටත් පෙන්වාදෙති. 


Friday, June 2, 2017

පරණ නියෝගයට අවසර ඉල්ලා ට්‍රම්ප් ඉහළ උසාවියට යයි


මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන ප්‍රධාන රටවල් හයක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරමින් දුන් නියෝගය නැවත ක්‍රියාත්මක කරන්නැයි ට්‍රම්ප් පරිපාලනය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. 
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රධාන මුස්ලිම් රටවල් වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් විධායක නියෝගයක් ලබාදුන්නේය. 
කෙසේ වෙතත් අදාළ නියෝගය වළක්වාලීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ අධිකරණ කටයුතු කළ අතර එමඟින් වෙනස්කොට සැලකීමක් කෙරෙන බව ද පෙන්වා දුන්නේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ද ඒ මතයේ සිට කටයුතු කළේය.
අදාළ තහනම මුස්ලිම් වැසියන්ට වෙනස් කොට සැලකීමක් කෙරෙන බව සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය වළක්වාලමින් විනිසුරුවරුන් නව දෙනෙක් අතුරු නියෝග නිකුත් කළහ. 
ට්‍රම්ප්ගේ නියෝගය අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව හා යේමනයේ වැසියන්ට දින 90ක් යන තෙක් ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් මාර්තු 6 වැනිදා අදළා නියෝගය ලබා දුන්නේය.

රොයිටර් 055



ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන්



මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින‍ බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය.
මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක් එය වළක්වාලූහ.
පොදු රාජ්‍ය මණ්ඩලයේ ගුවන් ගමන් අණ පනත්වලට අනුව තර්ජන සිදුකිරීම, අසත්‍ය හිමිකම් ප්‍රකාශ කිරීම සහ ගුවන් යානයක ආරක්ෂාව අනතුරු හෙළීමේ චෝදනා යටතේ මනෝද් මාක්ස් නැමැත්තාට චෝදනා එල්ල විය. මෙම චෝදනාවලට වැරැදිකරුවුවහොත් ඔහුට වසර 10ක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇතැයි පැවසේ.
මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසෙන මනෝද් මාක්ස් නැමැත්තා මෙල්බන් නුවර අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
තමන් අනාරක්ෂිත යැයි ඔහු පවසා තිබේ. එම නිසා ඔහුට අධිකරණයට ඉදිරිපත් විය නොහැකි යැයි ඔහුගේ නීතිඥයා දන්වා ඇත.
“
ඔහු බියෙන් සිටින්නේ. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි” යැයි මනෝද් මාක්ස්ගේ නීතිඥයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.  
ශිෂ්‍ය වීසා මත මනෝද් මාක්ස් නැමැත්තා ඕස්ට්‍රේලියාවේ රැඳී සිට තිබේ.
වයස, පෙනුම ආදී හේතු කිහිපයක් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මතු කරමින් තමාට මානසික සෞඛ්‍ය වෛද්‍යවරයකු හමුවීමට අවශ්‍ය බව මනෝද් මාක්ස් නැමැත්තා ඔහුගේ නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබේ.
මනෝද් මාක්ස් නැමැත්තා සන්තකයේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී නොමැති අතර ඔහු ළඟ තිබී ඇත්තේ කුඩා ශබ්ද විකාශන යන්ත්‍රයකට සමාන උපකරණයක් යැයි ද පැවසේ.
25 හැවිරිදි මනෝද් මාක්ස් නැමැත්ති පුහුණු කෝකියකු ලෙස කටයුතු කරමින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඩැන්ඩෙනොන්ග් හී ජීවත් වී තිබේ.
මොහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානයේ මනෝචිකිත්සක අංශයේ ප්‍රතිකාර ලබමින් සිට සිදුවීම වූ දිනයේදීම ඉන් පිටව ගොස් ඇති අතර ගුවන් යානය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇත්තේ ද එදිනමය.
මේ අතර මනෝද් මොණරාගල මාක්ස් නැමැත්තා ලබන අගෝස්තු මාසයේ දිනක් දක්වා රිමාන්ඞ් බන්ධානාගාර ගත කිරීමට මෙල්බන් අධිකරණයක් කටයුතු කළ බවත් ඔහු ඇප අයදුම් කර නැති බවත් ඕස්ට්‍රේලියානු පුවත් සේවා කිහිපයක් වාර්තා කර තිබිණි.
බී.බී.සී./සිඞ්නි මෝනින් හෙරල්ඞ් සහ ඬේලිමේල් ඇසුරිනි  055

පැරිස් සම්මුතියෙන් ඉවත් වූ ට්‍රම්ප්ට විවේචන

ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ.
“ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම කනගාටුවට කරුණක්. එහෙම වුණත් අපි පැරිස් සම්මුතිය ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. කිසිවකුට හෝ කිසිවකට එය නවත්වන්න බැහැ” යැයි ජර්මානු චාන්සලර්වරියා ප්‍රකාශ කර ඇත. 
පැරිස් සම්මුතියෙන් ඉවත්වීම නිසා ඇමෙරිකාවට දැඩි ලෙස පීඩාවට පත්වීමට සිදුවන බව පෙන්වාදෙන ජර්මානු චාන්සලර්වරිය ඇමෙරිකාවට රැකියා මිලියන ගණනක් අහිමි වනු ඇතැයි ද අවධාරණය කළාය. 
ප්‍රංශයේ නව නායක එමැනුවෙල් මැක්රෝන් මහතාද ට්‍රම්ප්ගේ තීරණය විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව ලොව ස්ථාන කිහිපයක විරෝධතා ද පැවැත්විණි. 
ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 2 වඩා අඩු අගයක පවත්වාගැනීම සඳහා ඇමෙරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ රටවල් 187 ක් 2015 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවරදී එකඟත්වය පළ කළ අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පෙරේදා (31) යුරෝපා සංගමයේ සහ චීන නිලධාරීහූ එකඟතාවකට ද පැමිණියහ. 
ඇමෙරිකාවේ සිදුවන පරිසර දූෂණ නිසා හේතුවෙන් මේ සියවස අවසාන වනවිටදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3 කින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු ඇඟවීය. 

ඒ.එෆ්.පී/රොයිටර් 055

Thursday, March 2, 2017



ඇමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතාට රුසියාව සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර ජෙෆ් මහතාගේ තනතුරද අවදානමට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  
 
ඇමෙරිකා ජනාධිපතිවරණය සමයේදී සෙනෙට්වරයකු ලෙස සිටියදී සෙෂන්ස් මහතා දෙවරක් රුසියා තානාපතිවරයා හමු වී ඇතැයි ද වාර්තා වේ. 
 
තමා ජනාධිපතිවරණය සමයේදී රුසියානුවන් සමඟ කිසිදු සමබඳතාවක් නොපැවැත්වූ බව සෙෂන්ස් මහතා ඉකුත් ජනවාරි මාසයේ දී පවසා තිබිණි. 
  
“ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මා කිසිදු අවස්ථාවක රුසියානු බලධාරීන් හම්බ වුණේ නැහැ” යැයි ජෙෆ් සෙෂන්ස් මහතා අවධාරණය කළේය.  
 
“දිවුරුම ඉදිරියේ ජෙෆ් සෙෂන්ස් බොරු කියනවා” යැයි  ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරන බව ද මාධ්‍ය වාර්තා කළේය.  
 
ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වීම සම්බන්ධයෙන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) කරන පරීක්ෂණවලින් ද නීතිපතිවරයා ලෙස සෙෂන්ස් මහතා ඉවත් විය යුතු යැයි ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රකාශ කර ඇත.රුසියානු තානාපතිවරයාට අමතරව රුසියානු පාර්ශව සමඟ ද සෙෂන්ස් මහතා සබඳතා පවත්වා ඇතැයි ද ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරයි.  
 
නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතා පසුගිය වසරේදී සෙනට් සභිකයකු ලෙස රුසියානු තානාපති සර්ගේ කිස්ලියාක් මහතා හමු වී ඇති බවට තහවුරු වී ඇතැයි වොෂින්ටන් පෝස්ට් පුවත්පතද වාර්තා කර ඇත. 
  
පසුගිය සැප්තැම්බර් මාසයේදී ජෙෆ් සෙෂන්ස් මහතා තම කාර්යාලයේදීත් ඉන් පසු තවත් අවස්ථාවකදීත් රුසියානු තානාපතිවරයා සමඟ පෞද්ගලික සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡාවලට තවත් තානාපතිවරුන් සහභාගී වී ඇති බව ට ද වොෂින්ටන් පෝස්ට් වාර්තාවේ තවදුරටත් සඳහන්ව තිබේ. 


 http://www.lankadeepa.lk/world_news/ඇමරිකානු-නීතිපති-අවදානම්-ගමනක/14-510352

Tuesday, January 3, 2017

ධීවරයන් නිදහස් කරගන්න’යි අගමැති මෝදිගෙන් ඉල්ලයි


ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයන් නිදහස් කර ගැනීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේය. 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යොමුකරමින් තමිල්නාඩු මහ ඇමැතිවරයා එම ඉල්ලීම කර ඇති අතර ඔහු මෙම ලිපිය යොමු කර ඇත්තේ කොළඹදී පැවැති ඉන්දු ලංකා ධීවර සාකච්ඡා අවසන් වීමට පෙර යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. 
ඉන්දීය ධීවරයන් යහපත් ප්‍රවේශයකින් සාකච්ඡාවලට සහභාගී වනවිට ශ්‍රී ලංකා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සහ උතුරු පළාත් ධීවර අමාත්‍ය බාලසුබ්‍රමනියම් ඩැනිස්වරන් ඉන්දීය ධීවරයන් කුපිත කරන අන්දමේ ප්‍රකාශ කරන බවට ද තමිල්නාඩු මහ ඇමැතිවරයා චෝදනා කර ඇත. එවැනි ප්‍රකාශවලින් පෝක් බොක්කේ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට සාම්ප්‍රදායිකව හිමි අයිතිය වළක්වාලන බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 
ධීවරයන් 51 දෙනකු හා ධීවර බෝට්ටු 114ක් ශ්‍රී ලංකා නාවිකා හමුදා අත්අඩංගුවේ පවතින බවත් 2014 වසරේදී අත්අඩංගුවට ගත් බෝට්ටු 80ක් පමණක් 2015 වසරේ නිදහස් කළ බවත් තමිල්නාඩු මහ ඇමැතිවරයා පෙන්වා දී ඇත. 


ඡායාරූපය ' ද හින්දු'