Friday, June 2, 2017

පරණ නියෝගයට අවසර ඉල්ලා ට්‍රම්ප් ඉහළ උසාවියට යයි


මුස්ලිම් වැසියන් බහුතරයක් ජීවත්වන ප්‍රධාන රටවල් හයක වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරමින් දුන් නියෝගය නැවත ක්‍රියාත්මක කරන්නැයි ට්‍රම්ප් පරිපාලනය එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. 
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රධාන මුස්ලිම් රටවල් වැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් විධායක නියෝගයක් ලබාදුන්නේය. 
කෙසේ වෙතත් අදාළ නියෝගය වළක්වාලීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ අධිකරණ කටයුතු කළ අතර එමඟින් වෙනස්කොට සැලකීමක් කෙරෙන බව ද පෙන්වා දුන්නේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ද ඒ මතයේ සිට කටයුතු කළේය.
අදාළ තහනම මුස්ලිම් වැසියන්ට වෙනස් කොට සැලකීමක් කෙරෙන බව සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය වළක්වාලමින් විනිසුරුවරුන් නව දෙනෙක් අතුරු නියෝග නිකුත් කළහ. 
ට්‍රම්ප්ගේ නියෝගය අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව හා යේමනයේ වැසියන්ට දින 90ක් යන තෙක් ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් මාර්තු 6 වැනිදා අදළා නියෝගය ලබා දුන්නේය.

රොයිටර් 055



ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන්



මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින‍ බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය.
මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක් එය වළක්වාලූහ.
පොදු රාජ්‍ය මණ්ඩලයේ ගුවන් ගමන් අණ පනත්වලට අනුව තර්ජන සිදුකිරීම, අසත්‍ය හිමිකම් ප්‍රකාශ කිරීම සහ ගුවන් යානයක ආරක්ෂාව අනතුරු හෙළීමේ චෝදනා යටතේ මනෝද් මාක්ස් නැමැත්තාට චෝදනා එල්ල විය. මෙම චෝදනාවලට වැරැදිකරුවුවහොත් ඔහුට වසර 10ක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇතැයි පැවසේ.
මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසෙන මනෝද් මාක්ස් නැමැත්තා මෙල්බන් නුවර අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
තමන් අනාරක්ෂිත යැයි ඔහු පවසා තිබේ. එම නිසා ඔහුට අධිකරණයට ඉදිරිපත් විය නොහැකි යැයි ඔහුගේ නීතිඥයා දන්වා ඇත.
“
ඔහු බියෙන් සිටින්නේ. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි” යැයි මනෝද් මාක්ස්ගේ නීතිඥයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.  
ශිෂ්‍ය වීසා මත මනෝද් මාක්ස් නැමැත්තා ඕස්ට්‍රේලියාවේ රැඳී සිට තිබේ.
වයස, පෙනුම ආදී හේතු කිහිපයක් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මතු කරමින් තමාට මානසික සෞඛ්‍ය වෛද්‍යවරයකු හමුවීමට අවශ්‍ය බව මනෝද් මාක්ස් නැමැත්තා ඔහුගේ නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබේ.
මනෝද් මාක්ස් නැමැත්තා සන්තකයේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී නොමැති අතර ඔහු ළඟ තිබී ඇත්තේ කුඩා ශබ්ද විකාශන යන්ත්‍රයකට සමාන උපකරණයක් යැයි ද පැවසේ.
25 හැවිරිදි මනෝද් මාක්ස් නැමැත්ති පුහුණු කෝකියකු ලෙස කටයුතු කරමින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඩැන්ඩෙනොන්ග් හී ජීවත් වී තිබේ.
මොහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානයේ මනෝචිකිත්සක අංශයේ ප්‍රතිකාර ලබමින් සිට සිදුවීම වූ දිනයේදීම ඉන් පිටව ගොස් ඇති අතර ගුවන් යානය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇත්තේ ද එදිනමය.
මේ අතර මනෝද් මොණරාගල මාක්ස් නැමැත්තා ලබන අගෝස්තු මාසයේ දිනක් දක්වා රිමාන්ඞ් බන්ධානාගාර ගත කිරීමට මෙල්බන් අධිකරණයක් කටයුතු කළ බවත් ඔහු ඇප අයදුම් කර නැති බවත් ඕස්ට්‍රේලියානු පුවත් සේවා කිහිපයක් වාර්තා කර තිබිණි.
බී.බී.සී./සිඞ්නි මෝනින් හෙරල්ඞ් සහ ඬේලිමේල් ඇසුරිනි  055

පැරිස් සම්මුතියෙන් ඉවත් වූ ට්‍රම්ප්ට විවේචන

ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ.
“ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම කනගාටුවට කරුණක්. එහෙම වුණත් අපි පැරිස් සම්මුතිය ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. කිසිවකුට හෝ කිසිවකට එය නවත්වන්න බැහැ” යැයි ජර්මානු චාන්සලර්වරියා ප්‍රකාශ කර ඇත. 
පැරිස් සම්මුතියෙන් ඉවත්වීම නිසා ඇමෙරිකාවට දැඩි ලෙස පීඩාවට පත්වීමට සිදුවන බව පෙන්වාදෙන ජර්මානු චාන්සලර්වරිය ඇමෙරිකාවට රැකියා මිලියන ගණනක් අහිමි වනු ඇතැයි ද අවධාරණය කළාය. 
ප්‍රංශයේ නව නායක එමැනුවෙල් මැක්රෝන් මහතාද ට්‍රම්ප්ගේ තීරණය විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව ලොව ස්ථාන කිහිපයක විරෝධතා ද පැවැත්විණි. 
ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 2 වඩා අඩු අගයක පවත්වාගැනීම සඳහා ඇමෙරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ රටවල් 187 ක් 2015 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවරදී එකඟත්වය පළ කළ අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පෙරේදා (31) යුරෝපා සංගමයේ සහ චීන නිලධාරීහූ එකඟතාවකට ද පැමිණියහ. 
ඇමෙරිකාවේ සිදුවන පරිසර දූෂණ නිසා හේතුවෙන් මේ සියවස අවසාන වනවිටදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3 කින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු ඇඟවීය. 

ඒ.එෆ්.පී/රොයිටර් 055