Thursday, October 31, 2019

ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයා මරුට



උතුරුදිග සිරියාවේදී, සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ සහාය ඇතිව ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කළ තවත් මෙහෙයුමකින් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයා මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.
ජිහාද් නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ මරණය නිවේදනය කර පැය කිහිපයකට පසු ඒ බව වාර්තා විය.
අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ ප්‍රකාශක අබු හසන් අල් මුජහිර් මරුමුවට පත්ව ඇතැයි කුර්දි සටන්කාමීන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ නිලධාරියෙක් ද ඒ බව පැවැසීය.
තමන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට අවසරයක් නැති හෙයින් නම සඳහන් නොකරන ලෙස ද එම නිලධාරියා ඉල්ලීමක් කර තිබිණි. එම නිලධාරියා ඒ බව පැවසුවේ ඉතිරි වී සිටින අයි.එස්. නායකයන් ඉලක්ක කරගනිමින් මෙහෙයුම් ආරම්භ කර ඇති බවට සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ ප්‍රධානී මස්ලූම් අබ්දි පැවැසීමෙන් අනතුරුවය.
“අල් මුජහිර්” බැග්ඩෑඩිගේ දකුණු අත ලෙස සැලකුණු අතර ඔහු අයි.එස්. සංවිධානයේ ප්‍රකාශකයා ලෙස ද කටයුතු කළේය. ඔහු ජරාබ්ලස් ආසන්නයේ අයින් අල් බයාදා ගම්මානයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් ඇමෙරිකානු හමුදා සහ  සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ බුද්ධි අංශ මෙම මෙහෙයුම් දියත් කරන බවත් අබ්දි සඳහන් කළේය.
අයින් අල් බයාදා ගම්මානය පාලනය කරන්නේ තුර්කියේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන් වන අතර වාහන දෙකකට ගුවන් ප්‍රහාර එල්ල වූ බව එම ගම්මානයේ සිටින ප්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදියා පැවැසීය. කෙසේ නමුත් තමන්ට මළ සිරුරු හඳුනාගැනීමට නොහැකි වූ බව ඔහු සඳහන් කළේය.
එසේ වුවත් එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු අයි.එස්. සංවිධානයේ ප්‍රකාශක අල් මුජහිර් මියගිය බව බි්‍රතාන්‍ය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය නිවේදනය කළේය. සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ සහාය ඇතිව ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් ඔහු ඇතුළු අයි.එස්. සාමාජිකයන් පස්දෙනකු මියගිය බව එම සංවිධානය නිවේදනය කළේය.
මේ සිදුවීම්වලින් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කළ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායේ ප්‍රකාශක මුස්තාෆා බාලි, අයි.එස්. සංවිධානය නායකයා මියගොස් ඇතැයි විශ්වාස කරන බව පැවැසීය.
ඒ.එෆ්.පී. 

A member of the Iraqi security forces gestures at a government complex in the city of Ramadi, December 28, 2015. REUTERS/Stringer


සදාම් හුසේන්ගේ ගෝලයෙක් අයිඑස්අයිඑස් නායකයා ලෙස පත්වෙයි



ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ හමුදාවේ හිටපු නිලධාරියකු අයි.එස්.අයි.එස්. සංවිධානයේ නව නායකයා ලෙස පත්වී ඇතැයි වාර්තා වේ.

‘ද ප්‍රොෆෙස (මහාචාර්යවරයා)’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඔහුගේ නම අබ්දුල්ලා කර්දාෂ් බවත් ‘ද ඩිස්ට්‍රෝයර් (විනාශකරු)’ යන නමෙන්ද හැඳින්වෙන බවත් පැවසේ.
ඔහුගේ දැඩි ප්‍රතිපත්ති දළදඬු පාලනය හේතුවෙන් එම නම් පටබැඳී ඇති බවත් වාර්තා වේ. ඔහු සැරපරුෂ සහ කූර පුද්ගලයකු වුවත් අයි.එස්.අයි.එස්. සංවිධානය තුළ ජනප්‍රිය පුද්ගලයකු බව පැවසේ.
අබ්දුල්ලා කර්දාෂ් සදාම් හුසේන්ගේ හමුදාවේ නිලධාරියකු ලෙස සේවය කර ඇති බව පැවසෙන අතර හෙතෙම අබු බකර් අල් බැග්ඩෑඩි සිරගතව සිටියදී ඔහු සමඟ සිටි බව ද කියැවේ.
ඔහු අයි.එස්. සංවිධානයේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයා බවත් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ සමීපතමයකු බවත් ලැබෙන ආරංචිමාර්ගවලින් කියැවිණි.
අයි.එස්. සංවිධානයයේ පුවත් ආයතනය වන ‘අමාක්’ නිකුත් කළ නිවේදනයකට අනුව අල් බැග්ඩෑඩි පසුගිය අගෝස්තු මාසයේදී අයි.එස්. සංවිධානයේ දෛනික කටයුතු මෙහෙයවීමේ වගකීම ද කර්දාෂ්ට බාර දී තිබේ.
ඬේලිමේල් ඇසුරිනි

අයිසිස් නායකයා මරුට


ඇමෙරිකා එක්සත් ජනපදය කළ මෙහෙයුමක් අතරතුරදී අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගොස් ඇති බව ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් පුවත් ආයතන වාර්තා කර ඇත.
‘ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඞ් ලෙවන්ත් (අයි.එස්.අයි.එස්. හෝ අයි.එස්.අයි.එල්)’ නායකයා ඉලක්ක කරගනිමින් සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ දී එම මෙහෙයුම ක්‍රියාත්මක වූ බව ඇමෙරිකානු නිලධාරියකු උපුටා දක්වමින් ඒ.පී. පුවත් සේවය වාර්තා කර තිබිණි. එවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බව තවත් නිලධාරියකු රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබූ නමුත් ඔහු එම මෙහෙයුම සාර්ථක ද නැද්ද යන වග සඳහන් නොකළේය.
ඇමෙරිකානු යුද හමුදාවේ නිලධාරියකු ‘නිව්ස්වීක්’ පුවත් සේවයට මෙහෙයුම් සම්බන්ධයෙන් කෙටි විස්තරයක් කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සැලසුම් කරමින් සිටින බව ධවල මන්දිර ප්‍රකාශක හෝගන් ගිඩ්ලේ පැවැසීය.
“විශාල යමක් මේ දැන්වුණා” යැයි සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබිණි.
සිරියාවෙන් ලැබෙන තොරතුරුවලට අනුව අයි.එස්. නායකයා මියගොස් ඇති බව තහවුරු වී ඇතැයි ඉරාක ආරක්ෂක අංශවල ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අද (27) වාර්තා කර තිබිණි.
“සිරියාවේ අපේ මූලාශ්‍ර අයි.එස්. නායකයා මියගිය බව තහවුරු කර තිබෙනවා. ඉරාක බුද්ධි අංශවලටත් ඒ බව දැනුම් දී තිබෙනවා. අල් බැග්ඩෑඩි සැඟවී සිටින ස්ථානය සොයාගත් පසු ඉඞ්ලිබ්හිදී ඔහුත් ඔහුගේ පෞද්ගලික ආරක්ෂකායත් මෙහෙයුම අතරතුරදී මියගොස් තිබෙනවා. අල් බැග්ඩෑඩි ඔහුගේ පවුලේ සාමාජිකයන් තුර්කි දේශසීමාව වෙත රැගෙන යෑමට ද උත්සාහ කර තිබෙනවා” යැයි එක් ආරංචි මාර්ගයකින් කියැවිණි.
අල් බග්දාදිගේ මරණය සම්බන්ධ පුවත සත්‍ය නම් බොහෝ දෙනකු ඉන් සැනසීමට පත්වනු ඇතැයි බැග්ඩෑඞ් නුවර සිටින අල්ජසීරා පුවත් සේවයේ නතාෂා ගෝනයිම් සඳහන් කළාය.
“අල් බග්දාදිගේ මරණය අයි.එස්. සංවිධානයට විශාල බලපෑමක් එල්ල කරාවි යැයි විශ්ලේෂකයන් පවසනවා. මේ මරණය එම කණ්ඩායම දුර්වල කරාවි යැයි ද ඔවුන් පවසනවා. කෙටිකලකට හෝ තවත් නායකයකු නම් කරන තෙක් හෝ අල් බැග්ඩෑඩිගේ මරණය අයි.එස්. සංවිධානය දුර්වල කරාවි. අල් බග්දාදිගේ මරණය අයි.එස්. සාමාජිකයන් අන්දමන්ද කර තිබෙන බව ද විශ්ලේෂකයන් සඳහන් කරනවා” යැයි නතාෂා ගෝනයිම් කීවාය.
වසර පහක කාලයක් මුළුල්ලේ අයි.එස්. සංවිධානය මෙහෙයවූ ඉරාක-සිරියානු දේශසීමාවේ සැඟවී සිටිනු ඇතැයි විශ්වාස කෙරුණි.
අයි.එස් සංවිධානයේ අණදෙන නිලධාරීන්ගෙන් ඉතිරි වී ඇත්තේ කිහිපයක් වන අතර අයි.එස්. සංවිධානයේ ප්‍රමුඛයා ලෙස හැඳින්වෙන අල් බග්දාදි මියගිය බවට පසුගිය වසර කිහිපයේදී විවිධ පුවත් පළවිය. එමෙන්ම අයි.එස් සංවිධානය ප්‍රකාශයට පත්කළ ‘කලිෆාව’ ක්‍රමයෙන් කඩා වැටී තිබෙන අයි.එස්. සංවිධානයට එක්වූ බොහෝ දෙනා මේ වනවිට මියගොස් හෝ සිරගත කර ඇත.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදා අයි.එස්. සංවිධානය මිනිත්තු 30ක හඬ පටයක් නිකුත් කළ අතර එය අයි.එස්. අබු බකර් අල් බග්දාදිගේ බව කියැවිණි. දිනපතා මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද බැග්ඩෑඩි එහිදි කීය.  
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිතු පාර්ශව ඉරාකයේදී සහ ඇෆ්ගනිස්තානයේදී පරාජයට පත්ව ඇති බවත් ඇමෙරිකාව යුද්ධය මාලි සහ නයිජර් රාජ්‍යයට ගෙන ගොස් ඇති බවත් අල් බග්දාදි එම හඬ පටය ඔස්සේ කීය.
සිරියාවේ උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඇමෙරිකානු හමුදා ඉවත් කරගන්නා බවට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන මොහොතක මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය. සිරියාවේ උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඇමෙරිකානු හමුදා ඉවත් කරගැනීම අයි.එස්. සංවිධානයට නැවත වරක් ශක්තිමත් වීමට අවස්ථාව ලබාදීමක් යැයි ඇතැම් පිරිස් චෝදනා කළහ. ඉන් සති කිහිපයකට පසු තෙල් නිධි ආරක්ෂා කරගැනීම සඳහා නැගෙනහිර සිරියාවට අමතර හමුදා යවන බව ඇමෙරිකාව සිකුරාදා (25) ප්‍රකාශ කළේය.  
ඇමෙරිකානු හමුදාවේ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් බලඇණිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙන බවත් මාධ්‍යයට තොරතුරු දුන් කිසිවකුත් ඔවුන්ගේ නම් සඳහන් කර නොමැති බවත් අල් ජසීරා පුවත් සේවයේ ඔසාමා බින් ජවයිද් කීවේය.
“ ඇමෙරිකානු හමුදාවේ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් බලඇණිය සතුව බුද්ධි තොරතුරු තිබුණු බව ආරංචි මාර්ගවලින් කියැවෙනවා. හමුදා අල් බැග්ඩෑඩි සැඟවී සිටින ස්ථානයට ගිය අවස්ථාවේදී බග්දාදි ඔහුගේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පුපුරුවාගෙන තිබෙනවා යැයි වාර්තා වෙනවා. ඒ මියගියේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත්තේ බැග්ඩෑඩි යැයි ඇමෙරිකානු හමුදා විශ්වාස කරනවා” යැයි ඔසාමා බින් ජවයිද් කීය.
“2014 වසරේ සිට අල් බග්දාදි ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ නැහැ. අයි.එස්.අයි.එල්. (අයි.එස්.අයි.එස්) සංවිධානය නිර්මාණය කළ බවට පවසමින් අල් බැග්ඩෑඩි මොසුල් නුවර දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. එයින් පසු ඔහු වැඩිය දකින්න ලැබුණේ නැහැ” ඔසාමා බින් ජවයිද් කීය.
අයි.එස්. සංවිධානය බලය තිබූ කාලයේදී උතුරු දිග සිරියාවේ සිට ටයිග්‍රිස් හා යුප්‍රටීස් නිම්න දක්වාත් ඉරාකයේ අගනුවර වන බැග්ඩෑඞ් දක්වාත් පාලනය කළ අතර මිලියන ගණනාවක් ජනතාව ඔවුන්ගේ යටතේ පසුවූහ.
සැලකිය යුතු ලෙස භූමිය අහිමි වුවත් අයි.එස්. සාමාජිකයන් ලොවපුරා ස්ථාන රැසක සැඟවී සිටින බවත් ඇතැම් සටන්කාමීන් සිරියාවේ කාන්තාර ප්‍රදේශවල සහ ඉරාකයේ නගරවල සැඟවී සිටින බවත් බවත් පැවසේ.
මේ අතර වසර පහකට පසු ප්‍රසිද්ධියේ පෙනි සිටිමින් අල් බග්දාදි පසුගිය අප්‍රේල් මාසයේදී වීඩියෝ පටයක් සහ හඬ පටයක් නිකුත් කළේය. එම හඬ පටය සහ වීඩියෝ පටය නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ කොළඹ හෝටල් තුනකට පල්ලි තුනකට ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සිදු කළේ අයි.එස්. සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් යැයි ද සඳහන් කළේය. අප්‍රේල් මස 21 වැනිදා, පාස්කු ඉරිදාවේ ත්‍රස්ත ප්‍රහාරවලින් දින අටකට පසු අප්‍රේල් 29 වැනිදා එම වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත්විය.

‘ණයෙන් මිදෙන්න චීනය ලංකාවට උදව් කරනවා’

“ණය උගුලෙන්” මිදීමට චීනය, ශ්‍රී ලංකාවට උපකාර කරන බවත් රට සංවර්ධනය කිරීම සඳහා වරාය, මාර්ග සහ ජල සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත.
චීන - ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව යන මැයෙන් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සහ විද්වතුන් පිරිසක් අතර කොළඹ දී පැවති සංවාදයක දී තානාපතිවරයා එම අදහස් පළ කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට සහ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවලට අනුව 2018 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 52 ක් බවත් ඉන්  චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6ක් බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා පවසා ඇත. ඒ අනුව එය සමස්ත ණය ප්‍රමාණයෙන් 11.5% කි.
අවස්ථා ගණනාවකදී බටහිර රටවලින් ඉහළ පොළී අනුපාතවලට ගත් ණය ආපසු ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජය අඩු පොළී අනුපාත යටතේ චීනයෙන් ණය ගත් බවත් “ණය උගුලෙන්” මිදීමට එය උපකාරී වූ බවත් චීන තානාපතිවරයා එම සංවාදයේදී සඳහන් කර තිබේ. 
චීනය, ශ්‍රී ලංකාවේ විශාලතම විදෙස් ආයෝජකයා බවත් චීනය, ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් කටයුතු රැසක් සිදුකර ඇති බවත් චීන තානාපතිවරයා මෙම සංවාදයේදී සඳහන් කර තිබේ.
චීන සංචාරකයන් විශාල පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙන බව සඳහන් කර තිබෙන චීන තානාපතිවරයා චීන - ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය වෙමින් පවතින බව ද සඳහන් කර ඇත.
2009 වසරේදී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුවත් අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ‘පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින්’ පසුවත් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ආධාර මෙන්ම ආරක්ෂාව ද සැපයූ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ. 

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විරුද්ධත්වය ඉවත් කරගැනීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
යටිතල පහසුකම් සංවර්ධනය සහ මාර්ග තදබදය කළමනාකරණය කිරීම යන ප්‍රධාන කරුණු ආවරණය කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස මෙම මුදල ශ්‍රී ලංකාවට හිමි වේ.
“මෙය රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වගේම අනාගතය පිළිබඳ හොඳ නිමිත්තක්” යැයි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ප්‍රදානයට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට අදාළ ප්‍රදානය ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර කඩිනම් මැතිවරණයකට යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වියවුලක් ඇතිවිය.
2015 වසරේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර පෞද්ගලිකව සහ දේශපාලනික වශයෙන් ඇති වූ අර්බුද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතුවිය.
කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන් අතර ඒ අනුව වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවත් අතර නිරන්තරයෙන් මතභේද හා ගැටුම් ඇති වූ අතර එම්.සී.සී. ගිවිසුමට අත්සන් තැබීම ප්‍රමාද විය. අගනුවර වන කොළඹ සහ ඒ අවට නගරවල මාර්ග තදබදය කළමනාකරණය කර මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම අරමුණ ඇතිව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුමට අත්සන් තබා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මූල්‍ය ප්‍රදානය ලබාගැනීමට උනන්දු විය.
නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු නොවන අතර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහායකු තේරී පත්වූ විගස ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුය.
සංචාරක නවාතැනක් ලෙස ශ්‍රී ලංකාව විදේශ ආධාර හා ණය මත දැඩිව යැපේ. දේශපාලන අස්ථාවරත්වය නිසා පසුගිය වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථිකය වර්ධනය වූයේ සියයට 1.8ක් තරම් අඩු වේගයකිනි.
269කට මරු කැඳවමින් හෝටල් තුනක් සහ කතෝලික පල්ලි තුනක් ඉලක්ක කරගනිමින් මේ වසර මුලදී ජිහාද්වාදීන් එල්ල කරන ලද මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර මාලාව නිසා ද ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය.

2050 වනවිට වෙරළබඩ ප්‍රදේශ ගංවතුරින් යටවීමේ අවදානමක


වසර 2050 වනවිට මිලියන 300කට නිවහන වී ඇති වෙරළබඩ ප්‍රදේශ ගංවතුරින් යටවීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ නැවත වරක් අනතුරු අඟවති.


කාබන් විමෝචනය වැඩි වී ඇති බවත් එයත් තවත් හේතු රැසක් නිසාත් විශේෂයෙන්ම මානව ක්‍රියාකාරකම් නිසාත් දේශගුණික විපර්යාස වැඩි වී ඇති බවත් එම නිසා ගංවතුර අවදානම උග්‍ර අතට හැරී ඇති බවත් ඔවුහු පෙන්වාදෙති.  

 
‘අදත් හෙටත් කෙරෙන තේරීම්’ මානව ක්‍රියාකාරකම් අනුව 21 වැනි සියවස අර්ධයේදී සහ ඉන්පසුව එළැඹෙන කාලයේදී ‘ගෝලීය වෙරළ තීර’ ‘සිතියම්වල’ ඉතිරි වේද නොවේද යන්න තීරණය වනු ඇති බවත් එම විද්‍යාඥයෝ පෙන්වාදෙති. කඩිනම් පියවර නොගෙන්නේ නම් අනාගත පරම්පරාවලට වෙරළ තීර දැකගැනීමට නොහැකි වනු ඇතැයි එම විද්‍යාඥයෝ අනතුරු අඟවති.



 
ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් වන ‘ක්ලයිමේට් සෙන්ට්‍රල්’ ආයතනයේ විද්‍යාඥයන්ගේ මූලිකත්වයෙන් කරන ලද අධ්‍යයනයකින් මේ කරුණු හෙළි වී තිබේ. එම අධ්‍යයන වාර්තාව ‘නේචර් කමියුනිකේෂන්ස්’ ජර්නලයේ (විද්‍යා සඟරාවේ) පළ කර තිබේ.

විනාශකාරී කුණාටු, බලවත් හා දැඩි හානි සිදු කරන සුළි සුළං සහ මුහුදු මට්ටම් ඉහළ යෑම වැඩි වී තිබෙන බවත් එයින් වැඩිම බලපෑමක් සිදුවන්නේ ආසියානු මහද්වීපයට බවත් එම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.
 
මේ තත්ත්වය නිසා චීනය, බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් අවදානමට පත්ව ඇතැයි ද අධ්‍යයනය කළ විද්‍යාඥයෝ පෙන්වාදෙති.

බැංකොක්, හොංකොං, ෂංහායි, තායිෂූ, සුරබයා, ඩකා, මුම්බායි, හෝ චි මින් සහ ඔසාකා ආදී මිලියන ගණනක් ජීවත්වන නගර අවදානම් ගංවතුර කලාප ලෙස හඳුනාගෙන තිබේ.

http://www.lankadeepa.lk/latest_news/20502050-වනවිට-වෙරළබඩ-ප්‍රදේශ-ගංවතුරින්-යටවීමේ-අවදානමක/1-559789