Thursday, June 2, 2022

ඩොලර් බිලියන තුනක ණයක් ගන්න සැරැසෙයි

 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක ණය පහසුකමක් ලබාගැනීමට සූදානම් වන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකා රජය‌ මේ මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමටත් ජූනි මාසය අවසන් වනවිට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමටත් සූදානම් වන බව ආරංචි මාර්ග දෙකක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ ණය පහසුකමක් ලබාගන්නා 17 වැනි අවස්ථාව මෙය වේ.

 

ඡායාරූපය - රොයිටර්ස්

මුල් ලිපිය - ඩොලර් බිලියන තුනක ණයක් ගන්න සැරැසෙයි

රොයිටර්ස් වාර්තාව - EXCLUSIVE Sri Lanka seeking $3 bln under IMF Extended Fund Facility - sources

 

Thursday, May 26, 2022

මුදල් මණ්ඩලය ගැන ආචාර්ය හර්ෂගෙන් ට්විටර් පණිවුඩයක්




ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයන් තවදුරටත් එම තනතුරුවල රැඳී සිටීමට නම්, අනෙක් සාමාජිකයන් කළ විනාශයට විරුද්ධ වූ බව ඔවුන් තහවුරු කළ යුතු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදාළව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කරයි.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත.

ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය තවදුරටත් මුදල් මණ්ඩලයේ සේවයට කිරීමට කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (10) සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඔවුන් සිය දැඩි විරෝධය පළ කළේ ඒවා මුදල් මණ්ඩලයේ රැස්වීම් වාර්තාවල සඳහන් විය යුතු පෙන්වාදෙයි. සාපරාධී නොසැලිකිමත් තීන්දු තීරණවලට විරුද්ධව ඔවුන් ඡන්දය භාවිත කළ යුතුව තිබුණේ යැයි ද හෙතෙම පෙන්වාදෙයි.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සමස්ත මුදල් මණ්ඩලය ම සාමූහිකව වගකිව යුතු යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ අනෙක් අයගේ තීරණවලට සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය විරුද්ධ වූයේ නම් ඔවුන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ “මෝඩ” තීරණවලට එරෙහිව ඡන්දය භාවිත කළ යුතුව තිබුණේ යැයි ද හෙතෙම කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විතය.

මහ බැංකුවේ අධිපතිවරයා මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊට නිල බලයෙන් පත්වන අතර ඊට විධායක නොවන තවත් සාමාජිකයන් තිදෙනකු පත් කරගැනේ.

මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයන් පත් කිරීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ.

අධිපතිගේ සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින්ගේ නිල කාලය අවුරුදු හය (6) කි. මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සාමාජිකයින් තිදෙනෙකුගෙන් (3) යුතු ගණපූරණයක් තිබිය යුතු ය.

මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීම සඳහා සාමාජිකයන් තිදෙනෙකුගේ (3) අනුමැතිය අවශ්‍ය වේ. කෙසේ වුවත් ඒකමතික තීරණයක් ගැනීමට අවශ්‍ය වූ විටක දී සාමාජිකයින් පස් (5) දෙනාගේ ම අනුමැතිය අනිවාර්ය වේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තවත් ට්විටර් පණිවුඩ දෙකක් ද නිකුත් කර තිබිණි.

එහි එක් පණිවුඩයක මෙසේ දැක්විණි.

“ප්‍රතිසංස්කරණ කිරීමට විපක්ෂයේ සහාය ලැබෙන බව මා විසින් තහවුරු කරන්නේ යැයි මා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට කීවා. ඔහු මට නොමසුරුව ස්තූති කළා. එහෙත් ආර්ථික අර්බුදයට චෝදනා එල්ල විය යුත්තේ කාට ද එල්ල නොවිය යුත්තේ කාට ද ඔහු තීරණය කළ යුතු බව එමඟින් අදහස් වෙන්නේ නැහැ. ඒක ඔහුගේ රාජකාරිය නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට”.

මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනයෙන් පසුව, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (10) දහවල් තවත් ට්විටර් පණිවුඩ දෙකක් නිකුත් කර තිබිණි.

ඒවායේ මෙසේ දැක්විණි.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා කියන ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ වීමට වගකිව යුත්තේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකු බවත්, ඇතැම් අය ඊට වගකිව යුතු නැති බවත්. ඒක එහෙම නම් ඔවුන් කතා නොකළේ ඇයි ? ඔවුන්ට සවන් දුන්නේ නැතිනම් ඔවුන් ඉල්ලා අස් නොවුණේ ඇයි ? පෞද්ගලික කාරණයක් නැහැ මෙතැන. සමස්ත මුදල් මණ්ඩලය යා යුතු යි”.

“විදේශ විනිමය සහ මුදල් කළමනාකරණය ගැන ස්වාධීන ආයතනයක් වෝහාරික විගණනයක් කළ යුතු යි. ඔවුන් එම තීරණ ගත්තේ ඇයි කියලා අපි දැනගත යුතු යි. කාට ද වාසි ලැබුණේ. ආර්ථිකයට සිදු වූ පාඩුව කොපමණ ද ? කවුද වගකිව යුත්තේ ? කෝ වගවීම ?”

මේ අතර නව අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉතාම උචිත තේරීම් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.

තමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටියදී ඔවුන් එහි ජ්‍යෙෂ්ඨතම සහ වඩාත් ගෞරවනීය නිලධාරීන් යැයි ද ඔහු කීය.

එපමණක් නොව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලෝක මට්ටමේ ආර්ථික විද්‍යාඥයකු යැයි ද ඔහු පැවැසීය. 



අප්‍රේල් 10 වැනිදා ලියන ලද ප්‍රවෘත්තියකි 

Saturday, March 26, 2022

අයි.එම්.එෆ්. වාර්තාව ගැන මහ බැංකුව අදහස් දක්වයි

 

ඡායාරූපය ‌- රොයිටර්ස් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව අනුව යමින් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇතැයි ද එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ඉකුත් දා (මාර්තු 25) ප්‍රකාශයට පත් කරන ලදි.

එමඟින් ශ්‍රී ලංකාව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ හඳුන්වා දී තිබිණි.

ඉකුත් වස‌රේ (2021) අගෝස්තු මාසයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතිකයේ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම, විනිමය වෙළෙඳපොළ ගනුදෙනුවල ඇති සීමා කිරීම් ඉවත් කිරීම, ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාණ භාණ්ඩ සඳහා වෙළෙඳපොළ මත පදනම් ව මිල ගැලපීමට ඉඩ හැරීම යනාදීය එම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය දැනුම් දීමත් සමඟ ඊට සහාය දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් යැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මේ අතර රජයට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තවදුරටත් සවිස්තරව විශ්ලේෂණ සැපයීම සහ ඒ පිළිබඳව රජය අඛණ්ඩව සමීප සංවාදයක නිරත වීමට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව සිය විශ්ලේෂණ අඛණ්ඩව ප්‍රකාශයට පත් කර ඇතැයි ද මහ බැංකුව වැඩිදුරටත් කියයි.


ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදනය - මෙතැනින් 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම හතරවන වගන්තියේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සිදුවිය.

අ) 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්, මූල්‍ය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන සහ පුද්ගලයින් සමඟ සාකච්ඡා පැවැත්වීම,
ආ) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයට නැවත පැමිණීමෙන් පසු නිලධාරී කණ්ඩායම වැඩිදුර පැහැදිළි කිරීම් ඉල්ලා සිටීම,
ඇ) හතරවන වගන්තිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලයේ සාකච්ඡා පැවැත්වීම සහ ඒ වන විට ශ්‍රී ලංකා බලධාරීන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළකිරීම,
ඈ) විධායක මණ්ඩල සාකච්ඡාව අවසන් වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම,
ඉ) හතරවන වගන්තිය යටතේ වූ උපදේශනයෙන් ලබාගත් තොරතුරු පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නිලධාරී කණ්ඩායමක් දිවයිනට පැමිණීම,
ඊ) ශ්‍රී ලංකා බලධාරීන් විසින් අවසන් අවසරය ලබාදීමට කටයුතු කිරීම, සහ
උ) අවසන් වාර්තාව 2022 මාර්තු 25 දින ප්‍රකාශයට පත් කිරීම.

මේ අතර, රජයට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මක විශ්ලේෂණ සැපයීම සහ ඒ පිළිබඳව රජය සමඟ අඛණ්ඩව සමීප සංවාදයක නිරත වීමට අමතරව, මහ බැංකුව සිය විශ්ලේෂණ අඛණ්ඩව ප්‍රකාශයට පත් කර ඇත.

තවද, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. එම ප්‍රතිපත්තීන් වනුයේ, 2021 වසරේ අගෝස්තු මාසයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම, විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනුවලට ඇති සීමාකිරීම් ඉවත් කිරීම, ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාන භාණඩ සදහා වෙළඳපොළ මත පදනම්ව මිල ගැලපීමට ඉඩ හැරීම යනාදියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය පෙන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි සම්බන්ධතාවයකට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටී.





ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව නිකුත් වෙයි

 


  ඡායාරූපය - රොයිටර්ස් 


සාර්ව ආර්ථික ස්ථාරවත්වය සහ ණය තිරසරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කරන ලද හතරවැනි වගන්තිය පිළිබඳ සමාලෝචනවලට අදාළ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ඉහත කරුණු ප්‍රකාශ කර ඇත.

හතරවැනි වගන්තිය පිළිබඳ සමාලෝචන අවසන් වීමෙන් අනතුරුව ඉකුත් පෙබරවාරි මස 25 වැනිදා පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරන ලදි.

සාර්ව ආර්ථික ස්ථාරවත්වය සහ ණය තිරසරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් කඩිනමින් ක්‍රියාත්මක කරන අතරවාරයේ දී අවදානම් සහගත කණ්ඩායම් ආරක්ෂා කළ යුතු බවටත් සමාජ ආරක්ෂණ දැල් භාවිත කරමින් දරිද්‍රතාවය අඩු කළ යුතු බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මෙම සම්පූර්ණ වාර්තාව පිටු 95කින් සමන්විත ය.

                                        

                                                    Tweet - ට්විට් 

ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට සහ ස්වෛරීත්ව ණය අර්බුදයකට එකවර මුහුණ දී ඇතැයි ද එබැවින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තත්ත්වය තිරසර නොවන මට්ටමකට පැමිණ ඇතැයි යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණය වී තිබේ.

මේ අතරවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය දැඩි ලෙස පහත වැටී ඇති බවත් කෙටි ණය සේවා අවශ්‍යතා ආවරණය කරගැනීමට එය ප්‍රමාණවත් නැතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

විදේශ විනිමය මූල්‍ය ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග තුළින් කෙටි කාලයේ දී යම් ඉස්පාසුවක් දෙනු ඇති නමුත් 2022 වසරෙන් පසු විදේශ විනිමය විදේශ ණය සේවා වගකීම් කෙසේ විසඳනු ඇත් ද පැහැදිලි නැතැයි ද එම වාර්තාව සඳහන් ය.

සාර්ථක එන්නත්කරණ වැඩසටහන මඟින් සංචාරක කර්මාන්තයේ වර්ධනයට ඉඩ සැලසුව ද සාර්ව ආර්ථික අසමතුලිතතා, විදේශ විනිමය හිඟය, අත්‍යවශ්‍ය නොවන ආනයන අත්හිටුවීම යනාදී කරුණු නිසා ආසන්න සහ මධ්‍ය කාලයේ වර්ධනය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ  සඳහන් වේ

අති විශාල රාජ්‍ය ණය බර හේතුවෙන් මුදල් සහ විනිමය අනුපාත ප්‍රතිපත්තිවලට වඩා වැඩි ඉඩක් රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාවලට ලබා දී ඇති බවත් මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ මිල ස්ථායීකරණ අරමුණුවලට බාධා එල්ල වූ බවත් එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ප්‍රධාන කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන නිර්දේශ පහක් ලබා දී ඇත.

එම නිර්දේශ හඳුන්වා දෙමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරත්වය ඇති කළ යුතු බවත් ඒ සඳහා ආසන්න කාලයේ සහ මධ්‍ය කාලයේ අවශ්‍යතා ආවරණය කරමින් විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් ස්ථාපිත කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂිත ක්‍රියාමාර්ග සමඟ ප්‍රතිපත්ති මාලාවක් නිර්දේශ කර තිබේ.


  • සැලකිය යුතු ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතාව. ප්‍රතිසංස්කරණවලදී එකතු කළ ආදායම මත බද්ද (වැට් - VAT) සහ ආදායම් බදු ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එය කළ යුත්තේ අනුපාත වැඩි කරමින් සහ පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග හරහා ය. රාජ්‍ය මූල්‍ය වෙනස් කළ යුත්තේ බලශක්ති මිල ගණන්වල ප්‍රතිසංස්කරණවලට අදාළව. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායවලින් එල්ල වන රාජ්‍ය මූල්‍ය අඩු කිරීම අරමුණු කරගත යුතු ය. ආයතන ගොඩනැගීමේ ප්‍රතිසංස්කරණ කළ යුතු අතර රාජ්‍ය මූල්‍ය නීතිය හරි ගැස්සවීම යනාදිය ඊට ඇතුළත් වේ. මේවා මඟින් උපායාමර්ගයේ විශ්වාසනීයත්වය තහවුරු කළ යුතු ය.

  • ණය තිරසරත්වය නැවත ස්ථාපිත කිරීම සඳහා පුළුල් උපායමාර්ගයක් වැඩි දියුණු කිරීම.

  • උද්ධමන ඉලක්ක තහවුරු කර නොගැනීමට නොහැකි වීම තාවකාලික කරුණක් බව තහවුරු කිරීම සඳහා ආසන්න කාලයේ දී මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම. එමඟින් ශ්‍රී ලංකා මහ සතුව තිබෙන අති විශාල භාණ්ඩාගාර බිල්පත් තැන්පතු ලිහා දැමීම සඳහා මෑතකදී ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති පිළිගන්නා අතර මුදල් අමාත්‍යාංශයේ සමීප සම්බන්ධීකරණය යටතේ එය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වේ.

  • වෙළෙඳපොළ මඟින් තීරණය කෙරෙන සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතිකයක් සඳහා ක්‍රමයෙන් ගමන් කළ යුතු ය. විනිමය අනුපාතිකයේ අවුල් සහගත චලන සිදුවීම වැළැක්වීම සඳහා සංක්‍රමණ ක්‍රියාවලිය (මාරු වීමේ) පරෙස්සමෙන් කළ යුතු වේ. එමෙන්ම එය පුළුල් සාර්ව ආර්ථික සැකසුමේ කොටසක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය.

  • වියදම් වැඩි කරමින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතු ය. ඒවායේ ආවරණය වැඩි කළ යුතු අතර සාර්ව ආර්ථික වෙනස්කම්වලින් අවදානම් සහගත කණ්ඩායම්වලට එල්ල වන බලපෑම් අවම කිරීම හෝ වෙනතකට හැරවීමට හෝ එම ක්‍රියාමාර්ග ගත යුතු ය.

 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව - මෙතැනින් 




 

·     

 

 

Saturday, March 12, 2022

ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සහාය ගැනීමට යයි?

 


වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ආරංචි මාර්ග තුනක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් විදේශ විනිමය හිඟය කළමනාකරණය කරගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි රොයිටර්ස් වාර්තා වේ දැක්වේ.

 

Saturday, September 11, 2021

මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වීමට යයි


දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්


ඉකුත් සතියත් දින දහයත් අතර කාලයේ සිදු වූ සිත් රිදවන සිදුවීම් සහ කරුණු නිසා තමන් සැලසුම් කළ දිනට කලියෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය  ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (10) ප්‍රකාශ කළේ ය.

ලබන මාසයට යෙදී තිබෙන තම 80 වැනි ඡන්ම දිනයේ දී විශ්‍රාම යෑමට කලින් සැලසුම් කරගෙන සිටිය ද පසුගිය සතියත් දින දහයත් අතර කාලයේ දී සිදු වූ සිත් රිදවන සිදුවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බව සති හයකින් පමණ ඉක්මන් කළ බව දේශමාන්‍ය මහාචාර්ය  ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය.

සිය විශ්‍රාම යෑම දැනුම් දීම වෙනුවෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ අද (10) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මහාචාර්යවරයා එම කරුණු සඳහන් කළේ ය.

මේ අනුව ලබන සතියේ 14 වැනි දා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය  ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවැසීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරය දරන්නැයි තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා පැවැසීය.

මා අධිපති ධුරයේ වැඩ බාරගත් සතියකට දෙකක‌‌ට පමණ පෙර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය බාරගන්නැයි තමන්ට මහත් විස්මයක් ගෙන දුන් බවත් එය කිසිසේත් අපේක්ෂා නොකළ එකක් බව ද හෙතෙම කීවේ ය.

මීට පෙර තමන්, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය දරන සමයේ දී සිටි වකවානුවේ දී එනම් 2004 වසරේ දී තමන්ගෙන් කළ ඉල්ලීම ද තමන් ප්‍රතික්ෂේප කළ බව ඔහු කීය.

මෙවර කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී වසරකටවත් එම ධුරය බාරගෙන ප්‍රතිපත්ති සකසන ලෙසත් තමන් ද සහාය දුන් ආණ්ඩුවට මතවාදී ව සහාය දෙන්නැයි කළ ඉල්ලීම ද සලකා බලමින් තමන් එම ඉල්ලීම බාරගත් බවත් ද හෙතෙම පැවැසීය.

එම ඉල්ලීම බාරගෙන මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරයේ කටයුතු කළ බවත් තමන් නිවැරැදි යැයි විශ්වාස කරන ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ කටයුතු කළ බවත් තමන් ධුරයේ කටයුතු කළ සමයේ ගත් කිසිදු තීරණයක් හෘදය සාක්ෂියට විරුද්ධව ගෙන නැති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේ ය.


මුල් ප්‍රවෘත්තිය - මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වීමට යයි

 

‘‘පාසල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කළේ නෑ‘‘


මහාචාර්ය නීලිකා මලවිගේ


තමන් කිසිදු අවස්ථාවක පාසල් නැවත විවෘත කළ යුතු යැයි යෝජනා නොකළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.

විශේෂයෙන්ම රට වසංගතයට මුහුණ දී සිටින අවස්ථාවකදී, තමන් පළ කරන අදහස් වැරැදියට උපුටා දැක්වීමෙන් හෝ අර්ථ විකෘති වන අන්දමින් උපුටා දැක්වීමෙන් වළකින්නැයි මෙරට මාධ්‍යවලට අවධාරණය කරන බව ද ඇය සඳහන් කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ පණිවුඩ යේ මෙසේ ද දැක්වේ.

“ශ්‍රී ලංකාවේ මාධ්‍ය මම පළ කරන අදහස් වැරැදියට උපුටා දක්වපු සහ අර්ථය විකෘති වන අන්දමින් උපුටා දක්වපු සෑම අවස්ථාවකදීම මම නිහඬව සිටියා. මෙම මිනිත්තු 30ක 40ක කතාවක කරපු එක වාක්‍යයක් උපුටා දක්වමින් මම පළ කළ සම්පූර්ණ අදහස් සහ මම කරපු සමස්ත අදහස විකෘති කරලා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මේ කරන වැඩෙන් මම මහත් වෙහෙසට පත් වෙලා. මම මෙයින් මහත් පීඩාවට පත්වෙලා. මෙය නැවැත්විය/අවසන් විය යුතු යි. ඔවුන් මෙහෙම කරන්නේ ඇයි ? මේකේ අවසානයක්/ඉවරයක් නැද්ද. මා වැරැදියට අර්ථ දැක්වීමෙන් සහ වැරැදියට උපුටා දැක්වීමෙන් සහ මම නොකියපු දෙයක් පළ කිරීමෙන් වෙන හානිය ඔවුන් දන්නේ නැද්ද ? ඒ වගේම මාධ්‍ය මෙය දැනගත යුතු යි. මම මිනිත්තු 30ක 40ක් අදහස් දැක්වූ අවස්ථාවකදී, එයින් එක් වාක්‍යයක් පමණක් උපුටා අරගෙන එය සිරස්තලය ලෙස යෙදීමත් කොතරම් නොමඟ යැවීමක් ද ?

දැන්ම පාසල් විවෘත කළ යුතු යැයි මා කිසිදු අවස්ථාවක පැවැසුවේ නැහැ. අපි ඉන්නේ ලොක්ඩවුන් එකක. දැන් තමයි මරණ සහ ආසාදිතයන්ගේ ගණන අඩු වෙන්නේ. ගේට්වේ විද්‍යාලයේ දී මා ඇත්තටම පැවැසුවේ කුමක් ද කියා දැන්න ගන්න කාට හෝ වුවමනාක් තිබෙනවා, ඊට අදාළ සබැඳිය මා පහතින් දක්වා තිබෙනවා.

ඒ වගේ ම මා මෙය ප්‍රකාශ කළා ද නැද්ද කියා කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව මාධ්‍යයේ පළ වූ ලිපිවලට, මට නින්දා කරන්න, අපහාස කරන්න එපා. මට අවමන් කරන්න එපා. මට ඔබට කියන්න කිසි දෙයක් නැහැ” යනුවෙනි.

 ‘‘පාසල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කළේ නෑ‘‘


I did NOT say that we should open schools now.