Thursday, September 12, 2019

බ්‍රිතාන්‍ය අගමැතිගේ තීරණය නීති විරෝධි යැයි අධිකරණ තීන්දුවක්


එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අත්හිටුවීමට අගමැති බොරිස් ජොන්සන් ගත් තීරණය නීති විරෝධී යැයි ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය තීන්දු කර ඇත.
අගමැතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරමින් දේශපාලනඥයන් පිරිසක් අධිකරණයට ගිය අතර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් අදාළ තීන්දුව ලබා දී තිබේ.
අගමැතිවරයා පාර්ලිමේන්තුව අත්හිටුවීමට ගත් තීරණය ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගවීම සහ වගකීම වැළැක්වීමට ගන්නා තීරණයක් යැයි තීන්දුව දෙමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළහ.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තිබෙන මොහොතක අගමැතිවරයාගේ තීරණය නීතිවිරෝධී සහ පාර්ලිමේන්තුවට වගකීමෙන් බැහැර වීමට ගන්නා ලද උත්සහායක් යැයි ද එම විනිසුරුවරු කීහ.
මෙම තීරණය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආණ්ඩුව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන එය ලබන සතියේ ලන්ඩන් නුවරදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කිරීමට නියමිතය.
අගමැතිවරයා නීති කඩ කර නැතැයි පසුගිය සතියේදී තීන්දුවක් දුන් අතර ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය දුන් මෙම නව තීන්දුවත් සමඟ පසුගිය සතියේදී දුන් තීන්දුව අවලංගු විය.
පාර්ලිමේන්තු සති පහකට අත්හිටුවීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කළ අතර එය පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමක් යැයි පැවැසුණි. එය අඟහරුවාදා (10) ආරම්භ විය.
මේ අනුව මන්ත්‍රීවරුන් නැවත පාර්ලිමේන්තු පැමිණෙන්නේ ඔක්තෝබර් 14 වැනිදාය. එහිදි රැජිණගේ කතාව පැවැත්වෙන අතර ඇය අගමැති ජොන්සන්ගේ පාර්ලිමේන්තු සැලසුම් ඉදිරිපත් කිරීමට නියමිතය. එක්සත් රාජධානිය ඔක්තෝබර් 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.
අධිකරණ තීන්දුවත් සමඟ පාර්ලිමේන්තුව කඩිනමින් නැවත කැඳවන්නැයි විපක්ෂයේ පක්ෂ ඉල්ලීමක් කර ඇත. එහෙත් පාර්ලිමේන්තුව කැඳවනවාද නැද්ද තීරණය කෙරෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව යැයි අගමැති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

39 වැනි දිනටත් කාශ්මීරයේ ජන ජීවිතය අඩාල වෙයි

ඉන්දීය රජය කාශ්මීරයට ලබා දී තිබූ බලතල ඉවත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කිරීමත් සමඟ 39 වැනි දිනටත් ජන ජීවිතය අඩාල වී ඇතැයි නිලධාරීහු ප්‍රකාශ කළහ.
පාසල් වසා දමා ඇති බවත් පොදු ප්‍රවාහන සේවා නැවැති ඇති බවත් ඔවුහු කීහ.
කාශ්මීර නිම්නයේ ප්‍රදේශ රැසක මහජන රැස්වීම්, එකතුවීම් සහ ජනතාවගේ ගමනාගමනයට පනවා තිබූ සීමා ඉවත් කර ඇති නමුත් නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අංශ යොදවා ඇතැයි ද නිලධාරීහු කීහ.
ජංගම සන්නිවේදන සේවා සහ දුරකතන ඇමතුම් මත පනවා තිබූ සීමා මායිම් ඉවත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කර ඇතැයි නිලධාරීහු පැවැසූහ.  
කාශ්මීර නිම්නයේ ස්ථාවර දුරකතන ජාල ක්‍රියාත්මක වුවද ජංගම දුරකතන මගින් ඇමතුම් ලබාගැනීම සීමා කර තිබිණි. විශේෂයෙන්ම උතුරු කාශ්මීරයේ කුප්වාරා හන්ද්වාරා වෙත එම සීමා පනවා තිබිණි.
ශ්‍රී නගර් හි ඇතැම් ප්‍රදේශවල පෞද්ගලික ප්‍රවාහන කටයුතු සිදු වූ බවත් නගරයේ ඇතැම් ස්ථානවල ඔටෝ රික්ෂෝ දක්නට ලැබුණු බවත් නිලධාරීහු කීහ. වෙළෙඳසැල් සහ ව්‍යාපාරික තවමත් විවෘත කර නැති අතර කාශ්මීර නිම්නයේ පොදු ප්‍රවාහන සේවා ද තවමත් ක්‍රියාත්මක නැත.
අන්තර්ජාල සේවා සියල්ලම තවමත් අවහිර කර ඇතැයි ද නිලධාරීහු කීහ.
පාසල් විවෘත කිරීමට ප්‍රාන්ත ආණ්ඩුව උත්සාහ කළ ද ආරක්ෂක සම්බන්ධයෙන් පවතින සැකය හේතුවෙන් මාපියෝ දරුවන් පාසල් නොයවා සිටිති.
ඉහළ පෙළේ සහ දෙවැනි පෙළේ බෙදුම්වාදී දේශපාලනඥයන් අත්අඩංගුවට ගෙන ඇති අතර හිටපු මහ ඇමැතිවරුන් තිදෙනා වන ෆාරුක් අබ්දුල්ලා, ඕමාර් අබ්දුල්ලා සහ මෙහූබා මුෆ්ති ඇතුළු ප්‍රධාන පෙළේ නායකයෝ රැඳවුම් භාරයේ හෝ නිවාස අඩස්සියේ පසුවෙති.

කැනඩාවේ මහ මැතිවරණය ඔක්තෝබර් 21

ඔක්තෝබර් මස 21 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන බව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ මහතා ප්‍රකාශ කර ඇත.
දැනට පළ වී ඇති මත විමසුම්වලට අනුව අගමැති ටෲඩෝ මහතාට දැඩි සටනකට මුහුණදීමට සිදුවනු ඇතැයි පැවසේ. අගමැති ටෲඩෝ දෙවැනි ධූර කාලය සඳහා ඉදිරිපත් වීමට නියමිතය.
මෙවර මහ මැතිවරණයේදී ආර්ථිකය සහ දේශගුණික විපර්යාස ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇතැයි පැවසේ.
අගමැතිවරයා අද (11) එරට ආණ්ඩුකාරවරයා මුණ ගැසුණු අතර ඉන් පසුව නිල වශයෙන් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේය.
ආණ්ඩුකාරවරයා වැඩබලන රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි.

“තලේබාන් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා”

ඉදිරි දින කිහිපයේදී ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානයේ ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බදාදා (11) ප්‍රකාශ කළේය.
සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ පීඩාවට පත් වූ පිරිස සිහිපත් කරමින් පැවැති සැමරුම් උත්සවයට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.
2001 සැප්තැම්බර් මස 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ගටගනයට එල්ල වූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ගොඩනැගිලිවලට ගුවන් යානා කඩා වැටීමට සැලැස්වීමෙන් ප්‍රහාරය එල්ල කරන ලද්දේ අල්කයිඩා සංවිධානයයි.
තලේබාන් සංවිධානය සහ ඇමෙරිකානු බලධාරීන් අතර වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ සාකච්ඡා පැවැති අතර අවසන් වරට පැවැති සාකච්ඡා වටයෙන් අනතුරුව දෙපාර්ශවය අතර ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ද එකඟතාවක් ඇතිවිණි.
තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර පැවැසීය.
එහෙත් තලේබාන් සංවිධානය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඇමෙරිකානු සෙබළකු මියයාමත් සමඟ සාම සාකච්ඡා අවලංගු කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කළේය.
තලේබාන් සංවිධානයට මීට පෙර කිසිදු අවස්ථාවක නොකළ ආකාරයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සැමරුම් උත්සවය අමතමින් වැඩිදුරටත් පැවැසීය.

Monday, September 9, 2019

මුගාබේ වීරයෙක් ද ? නපුරෙක් ද ?


නිදහස් සම්බාබ්වේ පළමු නායකයා වූ රොබට් මුගාබේ ඉකුත් දා  (6) අභාවප්‍රාප්ත විය.

ඉකුත් අප්‍රේල් මාසයේ සිට රොබට් මුගාබේ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බව ඔහුගේ අභාවය දැනුම් දෙමින් හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් පැවැසූ බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේය.


අභාවප්‍රාප්ත වනවිට රොබට් මුගාබේ 95 වන වියේ පසුවිය.
පසුගිය වසරේ දී හමුදා කුමන්ත්‍රණයකින් රොබට් මුගාබේ බලයෙන් පහ කෙරුණු අතර ඒ දක්වා ඔහු වසර 37ක් සිම්බාබ්වේ හි පාලකයා වශයෙන් කටයුතු කළේය.


කළු ජාතික බහුතරයකට අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවලට ප්‍රවේශවීමට අවස්ථාව පුළුල් කිරීම නිසා මුල් කාලයේදී රොබට් මුගාබේ යම් ආකාරයක පැසසුමකට ලක්වුවත් පසුකාලීනව දූෂණය හා මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ චෝදනා එල්ල වීම රට තුළත් ජාත්‍යන්තරය තුළත් අප්‍රසිද්ධියට පත්විය.


එක්සත් රාජධානියෙන් නිදහස් ලැබීමෙන් පසු පැවැති පළමු මැතිවරණයෙන් ජය ලබමින් මුගාබේ 1980 වසරේදී අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. අග්‍රාමාත්‍ය ධුරය අහෝසි කරමින් 1987 වසරේදී එහු ජනාධිපති ධුරය ආරම්භ කරමින් එරට පළමු ජනාධිපතිවරයා බවට පත්විය.
රොබට් මුගාබේගේ අභාවය “ඉතා කනගාටුදායක ආරංචියක්” බවත් මුගාබේ “නිදහස් සටනේ ප්‍රතිමූර්තියක්” බවත් වත්මන් ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා පැවැසීය.


රොබට් මුගාබේ උපත ලැබුවේ 1924 පෙබරවාරි 21 වැනිදා අතර එවකට සිම්බාබ්වේ රාජ්‍යය රොඬේෂියාව නමින් හැඳින්විණි. බි්‍රතාන්‍ය කොලනියක්ව පැවැති රොඬේෂියාව පාලනය කරන ලද්දේ එරට සුළු ජාතිකයන් වූ සුදු ජාතික ප්‍රජාවය.


වසර 1964 දී රජය විවේචනය කිරීමේ චෝදනාව නිසා රොබට් මුගාබේ සිරගත කෙරුණු අතර කිසිදු නඩු විභාගයකින් තොරව දශකයකට වැඩි කාලයක් ඔහු සිරගත කර තැබිණි.


සිරගත වී සිටින අතරවාරයේදී 1973 වසරේදී මුගාබේ ‘සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයේ (සානු පක්ෂය)’ සභාපතිවරයා ලෙස තෝරා පත් කරගැනිණි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි.


නිදහස ලැබීමෙන් පසු මුගාබේ මොසැම්බික් දේශයට පලා ගිය අතර එහි සිට ගරිල්ලා කණ්ඩායම් මෙහෙයවමින් රොඬේෂියාවට කඩා වැදුණේය. ගරිල්ලා සටන් මෙහෙයුවද ඔහු දක්ෂ සහ කුසලතා පූර්ණ ගනුදෙනු හා සාකච්ඡා කරන්නකු ලෙස පිළිගැනිණි.


අර්බුදය නිමා කිරීම සඳහා දේශපාලන ගිවිසුම්වලට එළැඹි අතර එය මුගාබේ සතු සාකච්ඡා කිරීමේ දක්ෂතාවල ප්‍රතිඵලයක් යැයි පැවැසිණි. අවසානයේදී නිදහස් සිම්බාබ්වේ ජනරජය බිහිවිණි.


නිදහස් ව්‍යාපාරයේදී මුල්තැන ගෙන ක්‍රියා කිරීම නිසා ජනරජයේ පළමු මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට මුගාබේ සමත්විය.


එහෙත් කාලයත් සමඟ මුගාබේට චෝදනා එල්ල වූ අතර ඔහු ඒකාධිපතියකු බවට ද චෝදනා එල්ල විය. ඔහුට චෝදනා එල්ල කළ බොහෝ දෙනා ජාත්‍යන්තර වීම ද විශේෂත්වයකි.


එහෙත් 2000 වසරේදී පළමු වරට ඔහුට එරෙහිව රට තුළ දේශපාලනික වශයෙන් විපක්ෂයක් ගොඩනැගුණි. එම කාලයේදීම මුගාබේට හිතවත් සටන්කාමීහු ප්‍රචණ්ඩකාරී ලෙස දේශපාලන ප්‍රතිවාදීන් මෙල්ල කළහ. 2008 පැවැති ජනාධිපතිවරණයේ පළමු වටයේදී මුගාබේ පරාජයට පත්වූ අතර විපක්ෂයට ප්‍රහාර එල්ල වූ නිසා ඔහුගේ ප්‍රතිවාදියා මැතිවරණයෙන් ඉවත් විය.


ඉන් අනතුරුව තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් කළ හැක්කේ දෙවියන්ට පමණයි යැයි ප්‍රසිද්ධියේ ද පැවැසීය.


ඉන් අනතුරුව 2009 වසරේදී ආර්ථික කඩාවැටීම් හමුවේ මුගාබේට බලය බෙදා ගැනීමට සිදු වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ මෝගන් ට්ස්වන්ගිරායි අගමැතිවරයා ලෙස පත් කිරීමට මුගාබේට සිදුවිය.


බිරිඳ ග්‍රේස් තමාගෙන් පසු ජනාධිපති ධුරයට පත් කරන බව මුගාබේ කරන ලද ප්‍රකාශයක් සමඟ පසුගිය වසරේදී ඔහුට එරෙහිව දැඩි විරෝධයක් එල්ල විය. ඔහු හා සමීපව කටයුතු කළ පිරිස්ද ඔහුට විරුද්ධ වූ අතර එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට මුගාබේට සිදුවිය. ඔහුගේ සමීපතම සගයකු වූ එමර්සන් ම්නන්ගග්වා ජනාධිපති ධුරයට පත්විය.


http://middleeast.lankadeepa.lk/features/මුගාබේ:-වීරයෙක්ද--නපුරෙක්ද-/2-10631

‘‘මගේ ඡන්දය රටට ආදර්ශමත් නායකයකුට‘‘

මේ රටට ඕනේ ආදර්ශමත් සහ ජනතාවට විශ්වාස නායකයකු බවත් තමන්ගේ ඡන්දය ලැබෙන්නේ එවැනි නායකයකුට පමණක් බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ඉරිදා (8) පැවසීය.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති වියත් මග සමුළුවට සහභාගී වෙමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා මේ බව සඳහන් කළේය.
මුරලිදරන් මෙසේ ද පැවැසීය.
          “නායකයකු වුණාම හැමෝටම ආදර්ශයක් වෙන්න ඕනේ. කතා කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. වචන හරි ලස්සනයි. හැබැයි ආදර්ශයක් වෙන්න හැමෝටම බැහැ. එය ඉතා දුෂ්කර සහ අමාරු කාර්යයක්. මිනිස්සු විශ්වාස කරන්නේ ආදර්ශයක් වුණොත් විතරයි. මට මේ රටට ඕනේ එහෙම නායකයෙක්. මගේ ඡන්දය හම්බවෙන්නේ එහෙම නායකයකුට පමණයි.
නායකයා ලෙස තෝරා ගන්නා ඕනෑම පුද්ගලයකුට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන්නත් පුළුවන්, ඕනෑම නායකයකුට විසඳන්න ප්‍රශ්න රැසක් තිබෙනවා. ඔවුන් තමයි ප්‍රශ්න විසඳන්න ඕනේ. නායකයෝ දෙවියෝ නෙමෙයි. ඔවුන් ඔබේ ප්‍රශ්න විසඳන්න කැමැතියි. ඔවුන් රටේ ප්‍රශ්න විසඳන්න කැමතියි. ඔවුන් ඔබට සේවය කරන්න කැමතියි. රට ආරක්ෂා කරන්න කැමතියි. ඒවා තමයි වැදගත්.
අපේ රටේ ආගම්, ජාතීන් රැසක් ඉන්නවා. නායකයාට මේ හැමෝම එකයි. තාත්තා කෙනෙක් වගේ. තාත්තා කෙනෙක් දරුවන්ට සලකනවා වගේ. තාත්තා දුවද පුතාද බලන්නේ නැහැ. පළවෙනි දරුවද දෙවැනි දරුවද කියලා වෙනසක් කරන්නේ නැහැ. හැමෝටම ආදරෙයි. අපිට නායකයා විදියට ඉන්න ඕනේ ඒ වගේ පුද්ගලයෙක්.ඒ වගේම ඔහුට නිවැරැදිව සහයෝගය ලැබෙන්න ඕනේ. රට විශාලයි. අංශ ගණනාවක් තිබෙනවා. ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.
සමාජ ප්‍රශ්න, කාන්තාවන්, සුබසාධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. එක මනුස්සයකුගේ මොළයකට මේ සියල්ල කරන්න බැහැ. ඔහුට කණ්ඩයාමක් ඕනේ. අපිට ඕනේ කණ්ඩායමක් පාලනය කරන්න පුළුවන් නායකයෙක්. අණ කරන, අණ දෙන කෙනෙක් නෙමෙයි පාලනය සහ කළමනාකරණය කරන කෙනෙක්. නායකයා කියන දේ විශ්වාස කරන සහ ඒ ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් කරන කණ්ඩායමක් තමයි අපිට ඕනේ.
රට වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් කියලා සමහර අය කියනවා මට ඇහිලා තියෙනවා. මම නම් කියන්න කැමැති නැහැ. ඇයි ඔබ මැරෙන්නේ? ඔබ රට පාලනය කළ යුතුයි. ඔබට රට පාලනය කිරීමේ වගකීමක් තිබෙනවා. මට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් දෙන්න.
මං මැරිලා හරි විකට් ගන්නම්. ඔබ මැරුණොත් විකට් ගන්නේ කවුද? ඒක නෙමෙයි හරි ක්‍රමය. ඔබ තීරණ ගන්න ඕනේ. නායකයකු වුණාම ස්මාර්ට් වෙන්න ඕනේ. උපදෙස් ගන්න ඕනේ, හරි වුණත් වැරැදි වුණත් නායකයා තමයි තීරණ ගන්න ඕනේ. අපිට ඕනේ ඒ වගේ නායකයෙක්. අපේ රටේ ප්‍රශ්න රැසක් තිබෙනවා. ඒ නිසා අපිට ඕනේ ඒ වගේ නායකයෙක්. මම හදවතින්ම ඒ වගේම නායකයෙකුට සහයෝගය දක්වනවා.
මම දෙමළ ජාතිකයෙක්. මම බය කියන්නේ මොකක් ද කියලා හොඳට දන්නවා. පාකිස්තානයේ දී වැඩි වැදුණාම තත්පර දෙකකට මට බය මොකක්ද කියලා දැනුණා. එතකොට හමුදා සාමාජිකයෝ යුද්ධයට යනවා. අපේ තත්පර දෙක වගේද ඒ බය. සොල්දාදුවෝ කොතරම් දුෂ්කර කාර්යයක් කරනවාද? මිනිස්සු මේ රට වෙනුවෙන් කැප කිරීම් කරනවා. අපි හැමදේම ඇපයට ගන්නවා. බය කියන්නේ පුංචි දෙයක් නෙමෙයි. එය මහ විශාල දෙයක්.
අපි බයෙන් ජීවත්වුණා. 72 දී, 77 දී. මගේ තාත්තට කඩු පහරවල් වැදුණා. තාමත් ඔහුගේ පිටේ මැහුම් පාරවල් තියෙනවා. අපේ ගෙවල්වලට ගිනි තිබ්බා. සියයට 80ක් ඉන්දියාවට ගියා. මම ශ්‍රී ලාංකිකයෙක්. මට මේ රටින් යන්න ඕනේ නැහැ.
ඒ කාලයේ ආණ්ඩුව කරපු දේවල් වැරැදියි. එල්.ටී.ටී.ඊය කරපු දේවලුත් වැරැදියි. ඔවුන්ට තේරීමක් තිබුණා. අන්තිමට වුණේ මොකක්ද? අහිංසක මිනිස්සු සැමන් වගේ තැලුණා පොඩි වුණා. දෙමළ මිනිස්සු විතරක් නෙමෙයි, හැමෝම. 97, 98 දී මම හිටියේ පැලවත්තේ. මම කවදාවත් පාර්ලිමේන්තු පාරෙන් ගියේ නැහැ. අපි වටේට ගියා. බෝම්බයක් පිපිරෙයිද කියලා බයෙන් ජීවත් වුණා. කොළඹ වුණත් එහෙමයි.
2009 දී වෙනසක් වුණා. බෝම්බයක් පිපිරෙන්නේ නැතිව නිදහස් යන්න පුළුවන් හැඟීමක් ඇතිවුණා. අද ආයේත් අපේ හිත්වලට බයක් ඇතිවෙලා. ඒ නිසා මේ මැතිවරණයේදී වැදගත් වෙන්නේ ජනතාවට ආරක්ෂාව දෙන්නේ කවුද කියන එකයි. නිදහසේ ජීවත්වීමට පරිසරය හදන නායකයෙක්. ඒ වගේ නායකයෙක් විතරයි මට ඕනේ.
ගොඩක් අය ඒවි. මං නම් කියන්න ඕනේ නැහැ. ඒ වගේ නායකයෙක් දැක්කොත් මම ඔහුට ඡන්දය දෙනවා. කවුද කියලා මම කියන්නේ නැහැ. ඒක ඔබේ තේරීම. මම කියනවා ඔහු කලින් දේශපාලනඥයෙක් විය යුතුයි. නායකයා කියන පුද්ගලයා දේශපාලනඥයකු විය යුතුමයි. මේ රටේ මිනිස්සු වැරැදි පාරවල්වල යනවා.
ව්‍යාපාරිකයෝ එනවා. විසඳන්න බලන්න ගොඩක් දේවල් තියෙනව ද? ව්‍යාපාරිකයාට පුළුවන් ද? ක්‍රිකට් ක්‍රීඩකයෝ, ඔවුන් මොනවද දන්නේ? හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. හොඳ මහත්මයෙක් වෙන්න පුළුවන්. රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගොඩක් දේවල් කරලා තියෙන්න පුළුවන්.
එහෙත් ඔහු මොනවද දන්නේ? මට වුණත් එච්චරයි. මාව තෝර ගත්තොත්, මට වුණත් එච්චරයි. මම හොඳ නායකයෙක් නෙමෙයි. මං දන්නේ ක්‍රිකට් ගහන්න විතරයි. මං ව්‍යාපාර ගැන ටිකක් දන්නවා. මං දේශපාලනය ගැන කිසිදෙයක් නැහැ.
දේශපාලනයේ අත්දැකීම් තියෙන්න ඕනේ. වයස හරි වෙන්න ඕනේ. අවුරුදු 20, 30 ක, 40ක අත්දැකීම් තියෙන්න ඕනේ. රට වෙනුවෙන් සේවය කරලා තියෙන්න ඕනේ. දේශපාලන අත්දැකීම් තියෙන්න ඕනේ. දෙයක් කරලා තියෙන්න ඕනේ. අපි බලා ඉමු. නාම යෝජනා දේවි, මැතිරවණ කොමිෂන් සභාව ඒ නම් නිවේදනය කරාවි.
එතකොට අපි බලමු කවුද හොඳ නායකයා කියලා. තේරීම තිබෙන්නේ ඔබේ. එතකොට ඔබේ නායකයා තෝරාගන්න. රටට දෙයක් කරලා තියෙන කෙනෙක් තෝරාගන්න. එය තමයි වැදගත්.”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නාලක ගොඩහේවා, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා යන මහත්වරු සහ මුත්තයියා මුරලිදරන් මහතාගේ බිරිඳ මතිමලර් රාමමූර්තී මහත්මිය යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

‘කැබූ’ නමින් නව මෘදුකාංගයක්

රටේ ආර්ථික මට්ටම ඉහළට ඔසවා දැමීමට සහාය ලබාදීමක් ලෙසින් කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිර්මාණයක් වන ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදීම ඉකුත් දා (6) කොළඹ දී සිදු කෙරිණි.
කොළඹ ‘හිල්ටන් රෙසිඩන්සීස්’ හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී එම මෘදුකාංගය හඳුන්වාදෙන ලදී.
නව ව්‍යාපෘති රැසක් ද ඇතිව ‘කැබූ’ මෘදුකාංගය හඳුන්වාදෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණු අතර මෙරට කුඩා, මධ්‍ය හා මහ පරිමාණ නිෂ්පාදකයන්ට ඔවුනොවුන්ගේ නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට මෘදුකාංගයෙන් අවස්ථාව උදා කර දී ඇත.
එපමණක් නොව ඇමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු වෙළෙඳපොළවල් ඉලක්ක කරගත් අලෙවි වැඩසටහනක් ද ක්‍රියාත්මක වන මාධ්‍ය හමුවට එක්වූ කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ නිලධාරිහු කීහ.
කැබූ මෝල් (Caboo Mall), කැබූ ඩිලිවරී (Caboo Delivery) සහ කැබූ ටේස් (Caboo Tase) යනුවෙන් මෙම නව ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
කුලී රථ සේවයක් (ටැක්සි) ලෙස ආරම්භ කරන ලද කැබූ නව පියවරක් තබමින් මෙලෙස නව ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් අන්තර්ජාල වෙළෙඳාමට පිවිස ඇත. 
කැබූ හෝල්ඩින්ග් පෞද්ගලික සමාගමේ සභාපති වේරංග විතානආරච්චි, සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ඉරාජ වීරරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ. 


Thursday, September 5, 2019

‘‘ජාතිය ගොඩනැගීමේදී මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙනවා‘‘

ජාතිය ගොඩනැගීමේදීත් ජාතිය සුවපත් කිරීමේදීත් මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙන බව මෙරට සංචාරයක යෙදී සිටින දකුණු අප්‍රිකාවේ මයිකල් ලැප්ස්ලි පියතුමා අද (5) ප්‍රකාශ කළේය.
රටක යුද්ධ සහ ගැටුම් ඇතිවෙන්නේ දේශපාලන තන්ත්‍රයේ අසමත්කම් සහ අසාර්ථකත්වය නිසා බවත් යුද්ධයක් අවසන් වූ පසු ජාතිය සුවපත් කිරීමත් යුද්ධය ඇති වීමට හේතු වූ මූලික කරුණු සොයා ගනිමින් ඒවාට විසඳුම් සෙවීම අත්‍යවශයෙන්ම කළ යුතු බවත් ලැප්ස්ලි පියතුමා කීවේය.
කොළඹ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මයිකල් ලැප්ස්ලි පියතුමා එම කරුණු සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වූ මයිකල් ලැප්ස්ලි පියතුමා මෙසේ ද කීය.
             “මා මෙහි පැමිණියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහයෝගීතාව පළ කිරීමටයි. ඔවුන්ට සහයෝගය, කනගාටුව පළ කිරීමටයි. ඒ වගේම මම ඔවුන්ගේ හිත් සුවපත් කිරීමේ කටයුතුවලට ද සම්බන්ධ වෙනවා. මම මීට පෙර අවස්ථාවකදීත් ලංකාවට පැමිණියා. එහිදි යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ සිත් සුවපත් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වුණා.
මම විවිධ ආගමික සහ වාර්ගික කොටස් සමඟ සම්බන්ධ වී කටයුතු කළා. ඒවායේ ආගමික නායකයන් ද මුණ ගැසුණා. මතක සුවපත් කළ යුතුයි. මිනිසුන්ගේ හිත් සුවපත් කළ යුතුයි. ආධ්‍යාත්මික බව සංවර්ධනය කළ යුතුයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් බොහෝ දෙනා පීඩාවට පත්ව සිටිනවා. රටක් යුද්ධයට යන්නේ දේශපාලනයේ තිබෙන අසමත්කම සහ අසාර්ථකත්වය නිසා. යුද්ධයක් අවසන් වීමෙන් පසු අපට ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. අපි ජාතියක් විදියට යුද්ධය නිසා ඇතිවූ තුවාල සුවපත් කරන්නේ කොහොමද ? අනෙක් ප්‍රශ්නය තමයි යුද්ධය ඇති වීමට හේතු වූ මූලික කරුණු මොනවාද ? අපි ඒ මූලික ප්‍රශ්නවලට විසඳුම් හෙව්වේ නැතිනම් තවත් යුද්ධයක් ඇතිවෙන්න පුළුවන්.
යුද්ධයකට පසු යුද්ධය නිසා ඇති වූ තුවාල සුවපත් කිරීම ඉතා වැදගත්. කායිකව ඇතිවන තුවාල සුවපත් කිරීම වගේම මානසික සුවපත් කිරීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා බොහෝ දෙනා අතුරුදන් වුණා. ඒවාට තවමත් ශක්තිමත් විසඳුම් සොයා නැති බවයි පෙනී යන්නේ.
ත්‍රස්තවාදය නිසා, යුද්ධය නිසා, ගැටුම් නිසා හැමෝම පීඩාවට පත්වෙනවා. රජයේ හමුදාවල සාමාජිකයෝ, ඔවුන්ගේ පවුල්වල අය වගේම අනෙක් පාර්ශවවල අයත් පීඩාවට පත්වෙනවා.
මෑතකදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්වුණා. රට තුළ ඉස්ලාම් දහම පිළිබඳ මුස්ලිම් ජාතිකයන් පිළිබඳ බියක් ඇතිවුණා. ඒ නිසා අන්තර් ආගමික සහයෝගීතාව ඇති කිරීම ඉතාම වැදගත්. ඉස්ලාම්, හින්දු, බෞද්ධ, කතෝලික යන සියලු ආගම් අතර සහයෝගීතාව අතර සහජීවනය, සහයෝගීතාව ඇති කිරීම ඉතාම වැදගත්.
මම මගේ සංචාරයේ දී බෞද්ධ ආගමික නායකයන්, මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු ආගමික නායකයන් ද මුණ ගැසෙනවා.
ඒ වගේම මාධ්‍යවල සිටින මගේ සහෝදර සහෝදරියන්ටත් විශාල වගකීමක් තිබෙනවා. මාධ්‍යවලට ගැටුම් නිවන්න වගේම ගැටුම් ඇති කරන්න පුළුවන්. මාධ්‍යවේදීන්ට සංවේදී කතා වාර්තා කරන්න පුළුවන්. මනුස්සකම ගැන මිනිස්සු එකිනෙකාට උදවු උපකාර කරගන්නා අයුරු වාර්තා කරන්න පුළුවන්.

ශ්‍රී ලංකාව ජාතික සංවාදයක් ඇති කළ යුතුයි. ඒ සඳහා කාලය ඇවිත් තිබෙනවා. සහයෝගීතාව, සාමය, සහජීවනය ඇති කිරීම වගේම වේදනාව සහ හිත් සුවපත් කිරීම කතා කරන්න පුළුවන්. දේශපාලනය, ආර්ථිකය ගැන විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ වේදනාව සහ මිනිස්සුන්ට වුවමනා දේවල් ඔවුන්ට අවශ්‍ය දේවල් ගැන කතා කරන්න ඕනේ. එවැනි ජාතික සංවාදයක් තුළ මාධ්‍යයට විශාල කාර්යභාරයක් තිබෙනවා. ජාතිය ගොඩනැගීමේදී ජාතිය සුවපත් කිරීමේදී මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙනවා.”
දකුණු අප්‍රිකාවේ පැවැති වාර්ගික අරගල සමයේදී මයිකල් ලැප්ස්ලි පියතුමා කළු ජාතිකයන් වෙනුවෙන් පෙනි සිටී අතර කළු සහ සුදු ජාතික සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලට ද එක්විය. 1990 වසරේදී බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන් ලැප්ස්ලි පියතුමාට දෑත් අහිමි විය. මයිකල් ලැප්ස්ලි පියතුමා බොහෝ කාලයක සිට වින්දිතයන් සහ පීඩාවට පත්වූවන් වෙනුවෙන් පෙනි සිටිමින්, සමාජ සාධාරණත්වය සහ හිත් සුවපත් කිරීමේ කටයුතුවල නිරත වෙයි. 


Wednesday, September 4, 2019

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිට්මස් පරීක්ෂාවක්


පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගතවෙමින් තිබෙන මෙම කාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෙරෙන ලිට්මස් පරීක්ෂාවක් යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඉකුත් දා (30) පැවැසීය.

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව ගතවෙමින් තිබෙන මෙම කාලය ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරමින් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිපදිමින් ත්‍රස්තවාදය පරාජයට පත් කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂාවක් යැයි ද ආර්යසිංහ මහතා කීවේය.
දෙදිනක් මුළුල්ලේ පැවැති කොළඹ ආරක්ෂක සමුළුව අවසානයේදී එහි ශුභාශිංසන දේශනය කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එම කරුණු සඳහන් කළේය. 


‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කළ කොළඹ ආරක්ෂක සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


“පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් පසුව මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානව හිමිකම් පිළිපදිමින් ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය ශ්‍රී ලංකාව හමුවේ තිබෙනවා. එමෙන්ම පසුගිය වසර කිහිපයේදී ශක්තිමත් කළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තවදුරටත් ශක්තිමත් කරමින් ඒවායේ අඩුපාඩු සකසාගෙන ඉදිරියට යෑමේ අභියෝගය ද රට හමුවේ තිබෙනවා. මේ කාලවකවානුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෙරෙන ලිට්මස් පරීක්ෂාවක්.


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට ආරක්ෂා කරගැනීමේ සහ තවදුරටත් ප්‍රහාර එල්ල වීම වළක්වාගැනීමේ දැඩි අවශ්‍යතාව ඇතිවුණා. එමෙන්ම රටේ ආරක්ෂක තත්ත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලාධාකාරිය නැවත වරක් තහවුරු කිරීමේ අවශ්‍යතාව පැන නැගුණා. රටට සහ රටේ ජනතාවට එල්ල වූ එම මිලේච්ඡ ප්‍රහාරයෙන් සිදුව හානිය සහ පාඩුව සම්බන්ධයෙන් කනගාටු වන අතරම නැවත ගොඩනැගීමේ සහ යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ද අපට සිදුවුණා. 


සමාජ, දේශපාලන, ආර්ථික වශයෙන්ම මෙන්ම රටේ ජාත්‍යන්තර කීර්තිනාමයට සිදුවන හානිය අඩු කරමින් ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙමින් ආරක්ෂාව තහවුරු කිරීමට සිදුවුණා. ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය නොමැතිව ආරක්ෂාව තහවුරු කිරීම පහසු වුණේ නැහැ. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ ත්‍රස්තවාදීන් රටේ කීර්තිනාමයට හානි කරන්නට උත්සාහ කළත් සමාජය තුළ තිබෙන විශ්වාසය ඊට හරස්වුණා. 


රටේ මහජනතාවත් නීතිය බලාත්මක කරන අධිකාරීන් අතරත් දැඩි සම්බන්ධයක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ මහජනතාව සමාජයට වෙන හානි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමට ඉදිරියට පැමිණියා. එය සුළුවෙන් තකන්න බැහැ. එය කිසිසේත් ඇපයට ගන්න බැහැ. ඒ සබඳතාව අපි ඉදිරියටත් පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම යහපත් අයුරින් පත්වාගෙන යා යුතු අතරම හොඳ මැදිහත්වීමක් කරන්න ඕනේ. ඒ වගේම එය හොඳට පෝෂණය කරන්න ඕනේ.”

කොළඹ ආරක්ෂක සමුළුව අගෝස්තු මස 29 සහ 30 යන දිනවලදී පැවැත්විණි.  



http://middleeast.lankadeepa.lk/local_news/ශ්‍රී-ලංකාව-සම්බන්ධයෙන්-ලිට්මස්-පරීක්ෂාවක්/8-10578

නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් හදනවා


නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් වෙනුවෙන් එක්ව ස්ථීරව කැපවී කටයුතු කරන බව ඉන්දීය සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරු අද නැවත වරක් අවධාරණය කළහ.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ජපානයට ගොස් සිටින අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජපාන අමාත්‍ය ටකේෂි ඉවායා හමුවිය.
එහිදි අමාත්‍යවරුන් දෙදෙනා ඉන්දු ශාන්තිකර කලාපය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් උදෙසා කැපවී නොසැලී කටයුතු කරන බව අමාත්‍යවරු දෙදෙනා අවධාරණය කළහ.
කොරියානු අර්ධද්වීපයේ සහ දකුණු චීන මුහුදු සම්බන්ධයෙන් තිබෙන මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඉන්දු ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතභේදාත්මක සහ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඉන්දීය සහ ජපාන විදෙස් සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ අමාත්‍ය හමුව පැවැත්වීමට කටයුතු යොදන බව ද දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු සහතික වූහ.
ඉන්දු ශාන්තිකර කලාපයේ සාමය සහ සෞභාග්‍ය වෙනුවෙන් සහ සහයෝගීතාව වෙනුවෙන් වාර්ෂික ඉන්දු ජපාන සමුළුවද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන අරම්භ කිරීමේ වැඩපිළිවෙලක්


ශ්‍රී ලංකාවේ කුළු බඩු ගෝලීය වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන ආරම්භ කරන බවත් එහි පළමුවැන්න ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දී ආරම්භ කරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී  පැවැසීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය එක්ව දිවයින පුරා විවිධ ප්‍රදේශවල ප්‍රචලිත මෙරට ඉපැරැණි ආහාර වට්ටෝරු 160ක් ඇතුළත් කරමින් රචිත ‘පුරාණ ආහාර වට්ටෝරු 160ක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම කරුණු කීවේය
ශ්‍රී ලංකාවේ සූපවේදීන්ට නව නිර්මාණ, නවෝත්පාදන කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ගෝලීය මට්ටමේ මුළුතැන්ගෙයක් ආරම්භ කරන බවත් එමගින් මෙරට සූපවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන් පවත්වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීවේය.
ඊට අමතරව නිවැරදි සූපශාස්ත්‍රවලට අනුකූල ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග ගෝලීය වෙළෙඳපොළට ගෙන යෑමේ වැඩසටහනක් ද වෝටර්ස් එජ් හෝටලය හා එක්ව ආරම්භ කරන බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
රාජ්‍ය අංශය මගින් ක්‍රියාත්මක වන වෝටර්ස් එජ් හෝටලය පසුගිය සමයේදී ලාභ ලැබූ බවත් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට සහ එම ක්ෂේත්‍රයට හිමිවිය යුතු බැවින් නව වැඩසටහන් රැසක් ආරම්භ වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් කීය. 


72 වැනි කලාපීය කමිටු සැසිය ඉන්දියාවේදී


ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපය සඳහා වන 72වැනි කලාපීය කමිටු සැසිය ඉන්දියාවේ දී පැවැත්විණි.
එහිදි ඒකදේශික රෝග තුරන් කිරීම, හදිසි තත්ත්වවලට සූදානම් වීම සහ පසුම්බියෙන් වැය වන මුදල් අඩු කිරීම සඳහා විශ්වීය සුව සේවා ඉලක්ක සහ අරමුණු සපුරාගැනීම කෙරෙහි මෙවර සැසියේදී අවධානය යොමු කෙරුණි.
මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් රටවල් හයක සෞඛ්‍ය අමාත්‍යවරුන් කලාපීය කමිටුවේ ඇගයීමට ලක්විය. දකුණු හා නැගෙනහිර සහ අග්නිදග ආසියානු රටවල් ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට නිවහන වේ.
මෙම සැසියේදී ශ්‍රී ලංකාව සරම්ප තුරන් කළ රටක් ලෙස හඳුනාගත් අතර, බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ තායිලන්තය හෙපටයිටිස් බී පාලනය කිරීමට සමත්වූ කලාපයේ පළමු රටවල් ලෙස හඳුනා ගැනිණි. එමෙන්ම මවගෙන දරුවට එච්.අයි.වී සහ සිෆිලිස් (උපදංශය) රෝගය තුරන් කළ පළමු රට ලෙස හඳුනාගැනිණි.
“රෝග තුරන් කිරීම අපේ න්‍යායපත්‍රවල ඉහළින්ම තිබුණා. අපි හැම තිස්සෙම තිරසර බව ගැන කතා කරනවා. ඒ වගේම කඩිනම් පියවර ගැනීම නවෝත්පාදනය ගැනත් කතා කරනවා. අපි කඩිනම ගැන කතා කරන්නේ රෝග තුරන් කිරීම ගැනයි. අපි හැමතිස්සෙම රෝග තුරන් කිරීම විශේෂයෙන්ම නිවර්තන කලාපයේ රෝග තුරන් කිරීමට පියවර ගන්නවා. ඒවා ඉක්මන් කරනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය පූනම් කෙත්‍රපාල් සිංග් සඳහන් කළාය.
හදවත් රෝග, දියවැඩියාව සහ පිළිකා ආදී බෝ නොවන රෝගවලට එරෙහිව සටන් කිරීම ප්‍රතිශක්තීකරණ වැඩසටහන් වේගවත් කිරීම, දේශගුණික විපර්යාසවලින් සිදුවන සෞඛ්‍ය බලපෑම්, සරම්ප සහ ක්ෂය යනාදී බෝවන රෝග තුරන් කිරීම කෙරෙහිද මෙවර සැසිවාරයේදී අවධානය යොමු කෙරුණි.  
කලාපයේ රටවල් ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් 2014 වසරේදී මෙම කලාපය පෝලියෝ රෝගයෙන් නිදහස් කලාපයක් බවට පත්විය. එමෙන්ම ශක්තිමත් ක්‍රියාමාර්ග හේතුවෙන් කලාපය 2016 වසරේදී මාතෘක (මවු) සහ උපතේදී ඇතිවන පිටගැස්ම රෝගවලින් නිදහස් කලාපයක් බවට පත්විය.
“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් සවිබල ගැන්වීම සඳහා නන්‍ය ප්‍රතිපත්ති, පසුම්බියෙන් වැයවන මුදල් අඩු කිරීම, වෛද්‍ය නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ ඕනෑම ප්‍රදේශයක සිටින ඕනෑම පුද්ගලයකුට සෞඛ්‍ය සේවා ලබාගැනීමට ඇති හැකියාව වැඩි කිරීම යනාදියෙන් ප්‍රගතිය තිරසරව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම කලාපයේ මහජන සෞඛ්‍ය ඉලක්ක සහ අරමුණුවලට ළඟාවීම වේගවත් කරන්න පුළුවන්” යැයි ආචාර්ය පූනම් කෙත්‍රපාල් සිංග් කීවාය.
ආචාර්ය පූනම් කෙත්‍රපාල් සිංග් කලාපීය අධ්‍යක්ෂ ධුරයට දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්විය. දෙවැනි ධුර කාලය ලබන වසරේ පෙබරවාරි 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.
“අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදුවෙනවා. ඉලක්ක තබා තිබෙනවා. එම ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කඩිනම් සහ නව්‍ය ප්‍රතිපත්ති තීරණ ගෙන තිබෙනවා. රෝගවලින් තොර ඉන්දියාවක් නිර්මාණය කිරීම සහ ගෝලීය සෞඛ්‍ය තත්ත්ව සහ ප්‍රමිත ස්ථාපිත කිරීමට අපි පියවර ගනිමින් ඉන්නවා.විශ්වීය සෞඛ්‍ය සේවා ඉලක්ක සපුරාගැනීම සඳහා අපි කඩිනම් පියවර ගනිමින් ඉන්නවා” යැයි සැසියේදී අදහස් දැක්වූ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හර්ෂ් වර්ධන් පැවැසීය.

ඊශ්‍රායල අගමැති එරට සුබසාධන ඇමැති ලෙස තමාවම පත්කරගෙන

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තමාම එරට සුබසාධන අමාත්‍යවරයා ලෙස පත්කරගෙන ඇතැයි රජයේ නිලධාරියෙක් එරට පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
අයුතු ලෙස ලාභ ලැබීම සහ අල්ලස් චෝදනා නිසා ඊශ්‍රායලයේ හිටපු සුබසාධන අමාත්‍ය හයිම් කාට්ස් පසුගිය සතියේදී එම ධුරයෙන් ඉල්ලා අස්විය.
ලිකුඞ් පක්ෂයේ වෙනත් අයකු අමාත්‍යධුරයට නම් නොකර තමාම එම ධුරයට පත්කරගැනීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු පියවර ගෙන ඇත. ඒ අනුව ඊශ්‍රායල අමාත්‍ය නෙදන්යාහු මේ වනවිට ආරක්ෂක, සෞඛ්‍ය, සුබසාධන සහ ඩයස්පෝරා යන අමාත්‍ය ධුර හතරම හොබවයි.
මීට පෙර අගමැති නෙදන්යාහු එරට විදේශ අමාත්‍ය ධුරය ද හෙබ වූ අතර පසුව එම තනතුරට ඊශ්‍රායල් කාට්ස් පත් කරන ලදි. අගමැතිවරයා හොබවන අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේදී ඊශ්‍රායල ඉහළ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. ඒ හේතුවෙන් අගමැති නෙදන්යාහු විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් විය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභානායකට විපක්ෂයෙන් දැඩි විරෝධයක්


බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පැවැති උණුසුම් විවාදයක් අතරවාරයේදී පාර්ලිමේන්තුවේ අසුනක වැතිර සිටීම නිසා කන්සවටිව් පක්ෂයේ ජාකෝබ් රීස් මොග් විපක්ෂයේ දැඩි විරෝධයට ලක්ව තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ද ඔහුගේ ක්‍රියාව දැඩි විවේචනයට ලක්ව තිබිණි. ජාකෝබ් රීස් මොග් වත්මන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සභානායක වන අතර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කරවාගැනීමේ ක්‍රියාවලියට ද සහාය දක්වන්නෙකි.
ජාකෝබ් රීස් මොග් මෙම ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදය අවඥාවට ලක් කිරීමක් යැයි බොහෝ දෙනා චෝදනා එල්ල කර තිබිණි.




Tuesday, September 3, 2019

ඉස්ලාමීය සටන්කාමීන් මාලදිවයිනේ මාධ්‍යවේදී රිල්වාන් ඝාතනය කරලා

ඉස්ලාමීය සටන්කාමීන් මාලදිවයිනේ මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් ඝාතනය කර ඇතැයි ‘ඝාතන සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම’ ප්‍රකාශ කරයි. 
පසුගිය රජයේ සමයේ සිදු වූ ඝාතන සහ අතුරුදන් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාලදිවයිනේ ජනාධිපතිවරයා එම කොමිසම පත් කරන ලදි. මාධ්‍යවේදී අහ්මද් රිල්වාන් බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය බව පැවැසුණි. 
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් විවේචනය කළ නිසා මාධ්‍යවේදී රිල්වාන් පැහැර ගෙන ගියේ යැයි ද කියැවුණි.  
රිල්වාන් පැහැර ගනු ලැබුවේ 2014 වසරේ අගෝස්තු මාසයේදීය. ඔහු පැහැර ගත්තේ අබ්දුල්ලා යමීන් බලයට පත්ව වසරකට පසුවය. අහ්මද් රිල්වාන් මාලදිවයිනේ ස්වාධීන මාධ්‍යවේදියකු වූ අතර ඔහු ආණ්ඩුවේ වංචා සහ දූෂණ මෙන්ම ඉස්ලාමීය සටන්කාමීන් සම්බන්ධයෙන් ද දිගින් දිගටම වාර්තා කළේය. 
ආණ්ඩුව විවේචනය කිරීමත් ඉස්ලාමීය අන්තවාදය ගැන ලිවීමත් නිසා රිල්වාන් ඉලක්කයක් බවට පත්වූ බව මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් සංවිධාන අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය. 
රිල්වාන්ගේ ඝාතනයට සෘජුව සම්බන්ධ පිරිස්වලින් කොමිසමට සාක්ෂි ලැබුණු බව ඝාතන සහ බලහත්කාරයෙන් කරන ලද පැහැර ගැනීම් පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති හුස්නු සවුද් පැවැසීය. 
“විදෙස් ජිහාද් සංවිධාන සමඟ සබඳතා පැවැත්වූ ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් රිල්වාන් ඝාතනය කළා. ඔවුන් ඊට පෙර අවස්ථා කිහිපයකදීත් රිල්වාන්ට අනතුරු අඟවා තිබෙනවා” සවුද් කීය. මාලේ අගනුවර පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු එම කරුණු සඳහන් කළේය. 
පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයේදී අබ්දුල්ලා යමීන් පරාජයට පත්වූ අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ඊබ්‍රහිම් මොහොමඞ් සෝලි ඉන් ජයගත්තේය. ජනාධිපති කොමිසම පත් කරන ලද්දේ ජනාධිපති සෝලිය. ඒ අනුව මෙම විමර්ශන කටයුතු සිදු කෙරුණු.
පැහැර ගැනීමෙන් පසුව මුහුදේදී රිල්වාන් ඝාතනය කර ඇතැයි ද ජනාධිපති කොමිසමේ සභාපති සවුද් පැවැසීය. විමර්ශනවලට බාධා එල්ල වන කියමින් ඔහු වැඩිදුර විස්තර කීම ප්‍රතික්ෂේප කළේය. 
අහ්මද් රිල්වාන් පැහැර ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව නඩු පැවැරීමට කිසිදු සාක්ෂියක් නැතැයි ද සවුද් කීවේය.  
මේ සම්බන්ධයෙන් අබ්දුල්ලා යමීන්ගෙන් සහ ඔහුගේ නීතිඥයාගෙන් අදහස් විමසීමට උත්සාහ කළ ද ඒවා අසාර්ථක විය. කෙසේ නමුත් ඝාතන සිදුවීම්වලට තමන්ගේ සම්බන්ධයෙන් නැතැයි හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය. 
රිල්වාන්ගේ අතුරුදන් වීමෙන් අනතුරුව 2017 වසරේදී මාධ්‍යවේදී යමීන් රෂීඞ් ඝාතනයට ලක්විය. මාධ්‍යවේදීන්ට එරෙහිව කෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් එම රජයට දිගින් දිගටම චෝදනා එල්ල විය. යමීන් රෂීඞ් ද ඉස්ලාමීය සටන්කාමීන් සහ රාජ්‍ය දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම සිය බ්ලෝග් ලිපි ලිවීය. 

රොයිටර්ස්