Thursday, December 24, 2020

දකුණු අප්‍රිකාවෙන් ‘කොවිඩ්-19‘ නව ප්‍රභේදයක්

ඡායාරූපය - ගෙටී ඉමේජස් 

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයක් වාර්තා වන බව දකුණු අප්‍රිකාව නිවේදනය කරයි.

එක්සත් රාජධානියෙන් නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදයක් වාර්තා වී තිබෙන අවස්ථාවක දකුණු අප්‍රිකාව ද මෙලෙස තවත් නව ප්‍රභේදයක් සම්බන්ධයෙන් නිවේදනය කළේය.

රට තුළ නිර්මාණය වී තිබෙන නව රැල්ලට හේතුව මෙම අලුත් ප්‍රභේදය යැයි ද ඒ හේතුවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ප්‍රමාණය, රෝහල් ගත කෙරෙන ප්‍රමාණය සහ වයිරස ආසාදිත මරණ ගණන වැඩි වී ඇතැයි ද දකුණු අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කළහ.

මෙම නව ප්‍රභේදය, නව කොරෝනා වයිරසයේ ප්‍රභේද අතර තරමක් ප්‍රබල එකක් යැයි දකුණු අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීහු සහ විද්‍යාඥයෝ පැවසූහ.

‘‘අපි තවමත් ඉන්නේ මුල් අවධියේ. රටේ ඇති වූ පළමු රැල්ලට වඩා දෙවැනි රැල්ල ප්‍රබලයි. ඊට බලපා තිබෙන්නේ වයිරසයේ මෙම නව ප්‍රභේදය’’ යැයි මහාචාර්ය සලීම් අබ්දුල් කරීම් පැවැසීය. හෙතෙම දකුණු අප්‍රිකාවේ කොරෝනා වයිරස පිළිබඳ අමාත්‍ය උපදේශන කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එරට ප්‍රමුඛ පෙළේ වසංගත රෝග විද්‍යාඥයකු මෙන්ම බෝවෙන රෝග පිළිබඳ විශේෂඥයෙකි.

පළමු රැල්ලේ දී වාර්තා වූවාට වැඩි රෝගීන් ප්‍රමාණයක් දෙවැනි රැල්ලේදී වාර්තා වනු ඇතැයි ද හෙතෙම කීය.

දකුණු අප්‍රිකාවේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන මේ වනවිට 8,500ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර වැඩිම ගණනක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූයේ ඉකුත් අගෝස්තු මාසයේදී වන අතර එම ගණන 8,300ක් විය.

‘‘දෙවැනි රැල්ලේදී වාර්තා ගත ලෙස වයිරස ආසාදිතයන් වාර්තා වීමක් දක්නට ලැබෙනවා’’ යැයි දකුණු අප්‍රිකාවේ නිව්ස්24 පුවත් සේවයට අදහස් දක්වමින් අමාත්‍ය උපදේශන කමිටුවේ සාමාජිකයකු වන මහාචාර්ය ඉයන් සනා පැවැසීය.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන නව ප්‍රභේදයට වඩා වෙනස් වන දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන අලුත් ප්‍රභේදය මුල් වයිරසයට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව පෙනෙන්නට ඇතැයි දකුණු අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීහු සඳහන් කළහ.

දකුණු අප්‍රිකාව මේ වනවිට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම එක්ව නිෂ්පාදනය කළ එන්නතේ සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇතැයි ද ඔවුහු කීහ.

නව ප්‍රභේදය සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේදී මුඛ ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඉතා අත්‍යවශ්‍ය බව ද ඔවුහු පැවැසූහ.

‘කොවිඩ්-19’ වයිරසයේ මෙම ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ දැඩි ලොක්ඩවුන් සීමා පැනවීමට දකුණු අප්‍රිකානු ආණ්ඩුව පියවර ගෙන ඇත. ඒ අනුව සීමිත පැය ගණන්, දින ගණන් ආදී වශයෙන් ලොක්ඩවුන් සීමා පැනවෙයි. එහිදි වෙරළ තීර වසා දැමීම, මත්පැන් විකිණීම ආදියට අවසර ලැබෙන ආකාරයේ විවිධ කාලසීමා නිවේදනය කර තිබේ.

පසුගිය සති දෙකක කාලය තුළදී, දකුණු අප්‍රිකාවෙන් සතියක් තුළ වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන දෙගුණ වී තිබේ. දෙසැම්බර් 6 වැනිදායින් අවසන් වූ සතියේදී, සතියකදී වාර්තා වූ ආසාදිතයන්ගේ සාමාන්‍ය පුද්ගලයන් ලක්ෂයකට වයිරස ආසාදිතයන් ගණන 6.47ක් වූ අතර එය දෙසැම්බර් 20 වැනිදායින් අවසන් වූ 14.68ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ ආකාරයෙන් මරණ අනුපාතය ද ඉහළ ගොස් තිබෙන දෙසැම්බර් 6 වැනිදා වන පුද්ගලයන් 100,000කට වාර්තා වූ 0.18 මරණ ගණන පුද්ගලයන් ලක්ෂයකට මරණ 0.34ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දකුණු අප්‍රිකාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත වයිරස ආසාදිතයන්ගේ ගණන 912,477ක් වන අතර වාර්තා වී ඇති සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 24,539කි.


ඒ.එෆ්.පී./රොයිටර්ස් 

දෙසැම්බර් 22 වැනිදා ලියන ලද්දකි. 

Friday, December 18, 2020

එක් මධ්‍යස්ථානයකින් පුද්ගලයන් 100 දෙනකුට - ඉන්දියාවේ 'කොවිඩ්-19' එන්නත් වැඩසටහන - 'කෝ-වින්'




එක් මධ්‍යස්ථානයකින් දිනකට පුද්ගලයන් 100 දෙනකුට එන්නත විදීමට හැකිවන පරිදි ඉන්දියානුවන් ට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීම සඳහා එරට රජය මේ වනවිට සැලසුම් සකස් කර ඇත.

ඒ අනුව ඉන්දියානුවන්ට එන්නත ලබාදීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාවලියක් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙන අතර පුද්ගලයන් 200 දෙනකුට එන්නත ලබාදීමට අවශ්‍ය පහසුකම් අදාළ මධ්‍යස්ථානවලට ලබාදෙන බව ද සඳහන් කර ඇත.

යම් කිසි අවස්ථාවකදී 200 දෙනකු‌ට වැඩි පිරිසකට එක් සැසියකදී  එන්නත් ලබාදීමට සිදු වුවහොත් ඒ සඳහා පස්දෙනකුගෙන් යුත් සම්පූර්ණ කණ්ඩායමක් අවශ්‍ය බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

සෑම මධ්‍යස්ථානයකටම කාමර හෝ ප්‍රදේශ තුනක් අවශ්‍ය  බවත් විවේක කාමරයක්, ජනතාවට එන්නත ලබාදෙන කාමරයක් සහ නිරීක්ෂණ කාමරයක් ඊට ඇතුළත් විය යුතු යැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ වල දැක්වේ.

මේ සියලු උපදෙස් සහ මාර්ගෝපදේශ ඇතුළත් සම්මත මෙහෙයුම් ක්‍රියාවලිය සහ ඒ සියල්ල ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රාන්ත ආණ්ඩු, සෞඛ්‍ය බලධාරීන් සහ අදාළ පාර්ශව වෙත යවනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්කරණ වැඩසටහන යටතේ මුලින් ම සෞඛ්‍ය සේවකයන් කෝටියකට, සෞඛ්‍ය සේවකයන් ඇතුළු නව කොරෝනා වයිරස මර්දන වැඩසටහනේ ඉදිරි පෙළ සිටින විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන සේවකයන් කෝටි දෙකකට සහ අවුරුදු 50ට වැඩි කෝටි 26ක ජනතාවට එන්නත ලබාදීමට නියමිත ය.

ඊට පසුව විවිධ නිදන්ගත රෝගාබාධවලින් පෙළෙන අවුරුදු 50ට අඩු කෝටියකට එන්නත ලබාදීමට නියමිත අතර ඒ අනුව ඉන්දියාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ මුලින්ම කෝටි 30කට අධික පිරිසකට ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමට නියමිත ය.

ඉන්දියාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක සභාවට සභිකයන් තෝරා පත්රගැනීමේ ඡන්දයට අදාළ ඡන්ද ලේඛනවලින් අවුරුදු 50ට වැඩි ජනතාව හඳුනාගන්නා බව ද පැවසේ.

ඉන් පසු අනෙක් අයට එන්නත ලබාදෙන බවත් එහිදි වයිරසයේ පැතිරීම සහ එන්නත් මාත්‍රා හා තිබෙන පහසුකම් සැලකිල්ලට ගනිමින් එන්නත ලබාදෙන බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එන්නත්කරණ වැඩසටහනේ සියලු තොරතුරු එසැණින් යාවත්කාලීන කිරීම සඳහා ඩිජිටල් යාන්ත්‍රණයක් ද සකසා තිබෙන අතර එය ‘කෝ-වින්’ යනුවෙන් නම් කර තිබේ.

ඉන්දියාව සිය එන්නත්කරණ වැඩසටහන සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කර තිබෙන අතර වී.කේ. රාහුල් එහි ප්‍රධානී තනතුර හොබවයි. ඉදිරි මාස හයත්-අටත් අතර කාලයේදී ඉන්දියානු ජනතාවට එන්නත් මාත්‍රා මිලියන 600ක් ලබාදීම සදහා මේ වනවිටත් සැලසුම් යොදා ඇතැයි ද වී.කේ. රාහුල් පැවැසීය.

එන්නත් මාත්‍රා ගබඩා කිරීම සඳහා මේ වනවිටත් ශීතාගාර පහසුකම් ඇතුළු ඊට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි ද හෙතෙම කීය.

 

රොයිටර්ස් සහ ඒ.එෆ්.පී. ඇසුරිනි

http://middleeast.lankadeepa.lk/world_news/දිනකට-1-000-කට-එන්නත/3-15811

 


Thursday, December 17, 2020

ප්‍රංශ ජනපතිට කොරෝනා




ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ට ‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට ජනාධිපති කාර්යාලය අද (17) නිවේදනය කළේය.

ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැතැයි ද ප්‍රංශ ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.
“
ජනරජයේ ජනාධිපිතවරයාට ‘කොවිඩ්-19’ ආසාදනය වී ඇතැයි අද දැනගන්නට ලැබුණා” යැයි ප්‍රංශ ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
රෝග ලක්ෂණ මතු වූ පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට පී.සී.ආර්. පරීක්ෂණයක් කළ බව ද එහි සඳහන් විය.
මේ අනුව ජනාධිපතිවරයා ඉදිරි දින හතක කාලයේදී ස්වයං-නිරෝධායනයට යොමු වන බවත් දුරස්ථව සිට රාජ්‍ය පාලන කටයුතුවලට සම්බන්ධ වන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.
ප්‍රංශ ජනාධිපතිවරයා ලබන 22 වැනිදා ලෙබනනයේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර එම සංචාරය ද ඇතුළු සියලු සංචාර අවලංගු කර ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
ජනාධිපතිවරයාට වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි මේ වනවිට සොයා බලමින් සිටින බව ද වාර්තා වේ.
දෙසැම්බර් 10 සහ 11 දෙදින පැවැති යුරෝපා කවුන්සිලයේ රාජ්‍ය නායකයන්ගේ සමුළුවට ද ප්‍රංශ ජනාධිපති මැක්රෝන් සහභාගී වී තිබිණි.
මේ අතර පසුගිය දින කිහිපයේදී ප්‍රංශ ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීම හේතුවෙන් ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ෂෝ කැස්ටෙක්ස් ද ස්වයං-නිරෝධායනයට යොමු වී ඇතැයි ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ප්‍රධානී ජෙහාර් ලාචෙක් පැවැසීය.

(රොයිටර්)


http://www.lankadeepa.lk/latest_news/ප්%E2%80%8Dරංශ-ජනපතිට-කොරෝනා/1-583490

කොරෝනා වයිරසය පාලනයට ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 2 ක්




 ‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් සිදුව තිබෙන බලපෑම අඩු කිරීම සඳහා යුරෝපා සංගමය මෙරටට යූරෝ මිලියන දෙකක මූල්‍ය ආධාරයක් කර තිබේ.

එම මූල්‍ය ආධාරයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ‘කොවිඩ්-19’ වයිරස වසංගතයෙන් සිදුව ඇති බලපෑම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර ධාරිතාව (හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව) වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

‘කොවිඩ්-19’ රෝගී ප්‍රතිකාර සේවාවල ඵලදායීතාව ඉහළ නැංවීම, ආසාදන වැළැක්වීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙහිදි අවධානය යොමු කෙරේ. රෝගී ප්‍රතිකාර සේවා පද්ධති සංවර්ධනය කිරීමෙන් වඩා හොඳින් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය හා තීරණය ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද යුරෝපා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කරයි.

මීට අමතරව මූල්‍යාධාරයේ ප්‍රධාන අංගයක් වන සෞඛ්‍ය සේවාවේ දුරස්ථ ඉගෙනුම් පද්ධති දියුණු කිරීම, අනාගතයේදී මෙවැනි හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය පද්ධතියේ හැකියාව තිරසර ලෙස වැඩි කිරීමට කෙරෙහි ද මෙහිදි අවධානය යොමු කර තිබේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

 

“COVID-19 රෝගී ප්‍රතිකාර සේවාවල ඵලදායීතාවය ඉහළ නැංවීම මෙන්ම ආසාදන වැලැක්වීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙම සහාය අවධානය යොමු කරනු ඇත. රෝගී ප්‍රතිකාර සේවා පද්ධති  සංවර්ධනය කිරීමෙන් වඩා හොඳින් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය හා තීරණ ගැනීමේ හැකියාව ලැබේ; මීට අමතරව, මූල්‍යාධාරයේ ප්‍රධාන අංගයක් වන සෞඛ්‍ය සේවාවේ දුරස්ථ ඉගෙනුම් පද්ධති දියුණු කිරීම, අනාගතයේ දී මෙවැනි හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට සෞඛ්‍ය පද්ධතියේ හැකියාව තිරසාරව වැඩි කරයි. මෙම අරමුදල් මඟින් දැනට පවතින සන්නිවේදන සහ ප්‍රජා සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ ක්‍රමෝපායන්  ද දියුණු කිරීම ගැන සලකා බැලේ. එමගින්  අදාළ සන්නිවේදන මෙවලම්   නිර්මාණය කිරීම  එම මෙවලම් ප්‍රජාව වෙත ලබාදීම සහ COVID-19  ප්‍රජා මට්ටමේ වැළැක්වීම සහ පාලන ක්‍රියාමාර්ග වලට නායකත්වය දීම සඳහා අවදානමට ලක්විය හැකි පුද්ගලයින්, තරුණයින් සහ ප්‍රජා පාදක සංවිධාන බල ගැන්වීමට සහාය වනු ඇත. අවසාන වශයෙන්, අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම තහවුරු කිරීම සඳහා, මෙම යුරෝපා සංගමයේ සහයෝගය මගින් COVID-19   වසංගතය මගින් උග්‍රවන ආර්ථික සමාජයීය අසමානතාවය නිසා ඇතිවන ගැටලු විසඳීම සඳහා මානසික සෞඛ්‍ය හා මනෝ සමාජීය සේවාවන් වෙත ළඟාවීමට හා භාවිතා කිරීමට ප්‍රජාවන්ට බලය ලබා දෙනු ඇත.

 “ශ්‍රී ලංකාව සඳහා අරමුදල් සැපයීම, COVID-19  වෛරස් වසංගතයට යුරෝපා සංගමය දක්වනගෝලීය ප්‍රතිචාරයේ කොටසක්” යැයි එච්.ඊ. ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ නියෝජිත තානාපති තුමා පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ යුරෝපා සංගම් සහයෝගීතාව, සෞඛ්‍ය ක්ෂේත්‍රය සමගින් පමණක් නොව, අවදානමට ලක්විය හැකි ජනගහනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දේශීය ප්‍රජාවන් සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරනු ඇත. දකුණු ආසියානු කලාපයේ රටවල ප්‍රතිචාර ධාරිතාවය ශක්තිමත් කිරීම, අප සියලු දෙනා එක්ව මෙම අර්බුදයෙන් ගොඩ ඒමට සහ ‘වඩා හොඳ නැවත ගොඩනැංවීම’ සහතික කිරීම සඳහා වැදගත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ ප්‍රකාශ කළේ, “ගෝලීය හා දේශීය වශයෙන් COVID-19 රෝගීන් අඛණ්ඩව ඉහළ යාම, වසංගතය අවසන් වී නැති බව අපට මතක් කර දෙයි. යුරෝපා සංගමයේ කාලෝචිත හා උපායමාර්ගික සහයෝගය මඟින් COVID-19 සඳහා ශ්‍රී ලංකාවේ සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම,  රෝගී ප්‍රතිකාර සේවා, අවදානම සන්නිවේදනය සහ ප්‍රජා සහභාගීත්වය, ආසාදන වැළැක්වීම සහ පාලනය සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇත සෞඛ්‍ය සේවාවේ දුරස්ථ ඉගෙනුම් පද්ධති දියුණු කිරීම තුළින් සෞඛ්‍ය සේවාවන්ගේ ධාරිතාවය ශක්තිමත් කිරීම සහ අඛණ්ඩ ඉගෙනීම සඳහා ඩිජිටල් තාක්‍ෂණය ව්‍යාප්ත කිරීම, මගින් වඩා හොඳින් සකස් කළ හා ඔරොත්තු දෙන සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීම, වර්තමාන COVID-19 වසංගතයට පමණක් නොව අනාගතය සඳහාද  උපකාරී වනු ඇත.”


Thursday, December 10, 2020

ඉන්දුනීසියාවේ එන්නත සියයට 97ක් සාර්ථකයි


“සිනෝවැක්” කොවිඩ්-19 එන්නත සියයට 97ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ඉන්දුනීසියාවේ ‘බයෝ ෆාමා’ සමාගම නිවේදනය කරයි.

සිනෝවැක් යනු චීන සමාගමක් වන අතර එම සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක අත්හදා බැලෙයි.

ඉන්දුනීසියාව වෙනුවෙන් එම එන්නත අත්හදා බලන්නේ එරට රජයට අයත් ඖෂධ සමාගම වන ‘බයෝ ෆාමා’ සමාගම යි.

ඉන්දුනීසියාව තුළ එම එන්නතේ සායනික අත්හදා බැලීම් මේ වනවිට සිදුවන අතර එහි අන්තර්වාර දත්ත නිකුත් කර තිබේ.

“මාසයක කාලයක් තුළ මෙම එන්නත සියයට 97ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බව අපේ සායනික අත්හදා බැලීම් කරන කණ්ඩායම සොයාගෙන තිබෙනවා” යැයි බයෝ ෆාමා සමාගමේ ප්‍රකාශක ඉවාන් සෙතිවාන් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.

සිනෝවැක් එන්නත මේ වනවිට එහි තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් කරන බවත් තවමත් එහි දත්ත එක්රැස් කරමින් සිටින බවත් එම බයෝ ෆාමා සමාගමේ තවත් ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ අතර ඉන්දුනීසියාව චීනයෙන් ඇණවුම් කළ පළමු ‘කොවිඩ්-19’ එන්නත් තොගය ඉකුත් දා එරටට ළඟා විය.

ඉන්දුනීසියාව ද මේ වනවිට දැවැන්ත එන්නත්කරණ වැඩසටහනකට සූදානම් වෙමින් සිටින අතර චීනයෙන් ඇණවුම් කළ ‘කොවිඩ්-19’ එන්නත් තොගය ළඟා වූ බව ඉන්දුනීසියාවේ ජනාධිපති ජොකෝ විඩොඩෝ ඉරිදා පැවැසීය.

චීනයෙන් ගෙන්වන ලද ‘කොවිඩ්-19’ ඉන්දුනීසියානු ජනතාවට ලබාදීමට පෙර එය එරට ආහාර සහ ඖෂධ අධිකාරියෙන් අනුමත විය යුතු ය.

ඉන්දුනීසියාව මේ වනවිටත් එන්නත බෙදාහැරීම සඳහා සූදානම් වෙමින් සිටියි.

ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270කි.

 

රොයිටර්ස්


ලංකාදීප මුල්පිට 2020.12.10 

 


Wednesday, December 9, 2020

ඇමෙරිකාවේ කොරෝනා අසාදිතයින් මිලියන 15 ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (9) මිලියන 15 සීමාව ඉක්මවා ගියේය.

ඇමෙරිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ ආකාරයෙන් ඉහළ යනවිට බ්‍රිතාන්‍ය එරට ජනතාවට ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් යන සමාගම් ද්විත්වය නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ලබාදීම ආරම්භ කර ඇත.

නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය සතියේදී පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 15,000ක් යැයි ද ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.

ඇරිසෝනා, ඇලබාමා සහ ඔහායෝ යන ප්‍රාන්තවලින් වාර්තා ගත අයුරින් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වී තිබූ බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.

තවමත් නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට වන ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ වනවිටත් වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

නව කොරෝනා වයිරස ව්‍යාප්තියේ කිසිදු අඩුවක් පෙනෙන්නට නැතැයි පවසන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු ඇඟවීමක් ද කර ඇත.

නත්තල් සමයේදී සහ වසර අවසාන උත්සව සමයේදී රටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වනු ඇතැයි ද ඇමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
“
අපි යන්නේ බොහෝ අභියෝගාත්මක කාලයකට” යැයි ඇමෙරිකාවේ බෝවෙන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවැසීය. විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සමුළුවක් අමතමින් වෛද්‍ය ඇන්තනි ෆවුචි අඟහරුවාදා දිනයේදී ඒ බව පැවැසීය.

ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්වය නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නතට ඉදිරියේදී අවසර ලැබෙනු ඇතැයි ද පැවසේ. එම සමාගම් ද්විත්වය සහ මොඩර්නා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත්වලට ඉදිරි සති කිහිපය තුළදී අවසර ලැබෙනු ඇතැයි පැවසේ.

 ෆයිසර්/බයෝඇන්ටෙක් ‘කොවිඩ්-19’ එන්නත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ බලධාරීන් හෙට රැස්වීමට නියමිත ය.
එන්නත්වලට අනුමැතිය හිමි වීමත් සමඟ රෝහල්වලට යම් සහනයක් හිමිවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල් ගත කරන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබේ.

නව කොරෝනා වයිරස ආසාදනය වීමෙන් සඳුදා,ඉකුත් (7) දිනයේදී පමණක් රෝහල් ගත කෙරුණු පිරිස 101,498ක් වන අතර එය පසුගිය සතිය හා සැලකීමේදී සියයට 16ක වර්ධනයකි.

ෆයිසර්/බයෝඇන්ටෙක් සහ මොඩර්නා කොවිඩ්-19 එන්නත්වලට හදිසි භාවිතය සඳහා වන අවසරය ලද විගස එම එන්නත් මුලින්ම ලබාදෙන්නේ සෞඛ්‍ය සේවකයන්ට බව ද පැවසේ.

ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට අනුව දෙසැම්බර් 8 වැනිදා පමණක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 219,944ක් වන අතර එම පැය 24 දී වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 2,597කි.

පසුගිය සතියක කාලය සැලකිල්ලට ගැනීමේදී දෛනිකව වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ සාමාන්‍ය ගණන 207,024ක් වන අතර එය ඊට සති දෙකකට පෙර සාමාන්‍ය හා සැසඳීමේදී සියයට 18ක වර්ධනයක් යැයි ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.


රොයිටර් සහ ඇමෙරිකානු පුවත් සේවා ඇසුරිනි


http://www.lankadeepa.lk/world_news/ඇමෙරිකාවේ-කොරෝනා-අසාදිතයින්-මිලියන-15-ඉක්මවයි/14-583166