Thursday, March 12, 2020

රටවල් 12කට අරාබියෙන් සංචාරක තහනමක්


කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට, අප්‍රිකානු සහ යුරෝපා සංගමයේ රටවලට ගුවන් ගමන් සහ සංචාරක තහනම් පැනවීමට සෞදි අරාබිය පියවර ගෙන ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය අද (12) වාර්තා කළේය.
ඒ අනුව යුරෝපා සංගමයටත් අලුතෙන් තව රටවල් 12කටත් ගුවන් ගමන් සහ සංචාරක තහනම් පැනවීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.
යුරෝපා සංගමයේ සියලු රටවල්, ස්විට්සර්ලන්තය, ඉන්දියාව, පාකිස්තානය, පිලිපීනය, සුඩානය, ඉතියෝපියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, ජිබුටි සහ සෝමාලියව සංචාරක හා ගුවන් ගමන් සීමා පැනවූ නව රටවල් ගොන්නට ඇතුළත් ය.
එරට රාජ්‍ය මාධ්‍යවලට අනුව සෞදි අරාබියෙන් නව කොරෝනා ආසාදිතයන් 24 දෙනකු වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇත.
විදෙස් ගතව සිටින සෞදි පුරවැසියන්ට සහ එරට වාසය කරන්නන්ට නැවත එරටට පැමිණීම සඳහා පැය 72ක කාලයක් ලබා දී ඇතැයි සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් රාජ්‍ය පුවත් සේවය වන ‘සෞදි පුවත් සේවය’ වාර්තා කළේය.
ජෝර්දානය හරහා ගොඩබිම් මාර්ගවලින් මඟීන් ඇතුළු කරගැනීම තාවකාලිකව අත්හිටුවීමට ද සෞදි අරාබිය පියවර ගෙන ඇත. එසේ වුවත් වාණිජ සහ බඩු භාණ්ඩවලට රට තුළට ගෙන ඒමට අවසර දී ඇත.
අසල්වැසි අරාබි රටවල් ඇතුළු රටවල් 19කට සෞදි අරාබිය මීට පෙර සංචාරක සහ ගුවන් ගමන් තහනම් පැනවීය. රටට ඇතුළු වීමේදී සෞඛ්‍ය තොරතුරු සහ සංචාරක තොරතුරු ඉදිරිපත් නොකරන පුද්ගලයන්ට රියාල් 500,000 (ඇමෙරිකානු ඩොලර් 133,000) ක දඩයක් පැනවීමට සෞදි බලධාරීහු පියවර ගෙන ඇත.
ලොවි විශාලතම බොරතෙල් නිෂ්පාදකයකු වන සෞදි අරාබිය එරට තෙල් නිෂ්පාදනය කරන කටිෆ් ප්‍රදේශය වසා දැමීමට පියවර ගෙන ඇති අතර බොහෝ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ එම ප්‍රදේශයෙන් යැයි ද වාර්තා වේ. ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ ස්ථාන ලෙස සැලකෙන මක්කම සහ මදීනාව වසා දැමීමට ද සෞදි අරාබිය මීට පෙර පියවර ගත්තේය.
සෞදි අරාබිය එරට පාසල්, විශ්වවිද්‍යාල, සිනමා ශාලා වසා දැමීමට ද පියවර ගෙන ඇත.
ඊට අමතරව සියලු සම්මන්ත්‍රණ, ක්‍රීඩා ඉසවු සහ උත්සව මෙන්ම ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ ජී20 අමාත්‍ය හමුව කල්දැමීමට ද සෞදි බලධාරීහු අද පියවර ගත්හ.




‘කොරෝනා මර්දනයට චීනය ආදර්ශයට ගන්න’


කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ලොව අනෙකුත් රටවල් සිය රජය ගත් ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් ජූනි මාසය වනවිට වයිරසය අවසන් වනු ඇතැයි චීනය ප්‍රකාශ කරයි.
ලොව රටවල් 120 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි.
කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා 126,000කුට ආසාදනය වී තිබෙන අතර වයිරසය හේතුවෙන් 4,624 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ වසර මැද වනවිට මේ අර්බුදය අවසන් වනු ඇතැයි චීන රජයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයා වන ෂොන්ග් නන්ෂාන්ග් පැවැසීය. වසංගත රෝග විශේෂඥයකු වන ඔහු 83 වියේ පසුවෙයි. හෙතෙම 2003 වසරේ ව්‍යාප්ත වූ ‘සාර්ස්’ වයිරසය මර්දනය කිරීමේ සටනේ දී මූලික කාර්යභාරයක් කළ පුද්ගලයා ලෙස සැලකේ.
‘‘ඔක්කොම රටවල් එකතු වුණොත් ජූනි මාසය වෙද්දි වයිරසය අවසන් වේවි. එහෙත් රටවල් ආසාදිතයන්ට හොඳින් ප්‍රතිකාර නොකළහොත්, දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නම් පාලනය කරන්න බැරි වේවි. ඇතැම් රටවල් තවමත් එතරම් සැලකිල්ලක් දක්වා නැහැ. මෙය බරපතළ කාරණයක් ලෙස ගෙන තදින් මැදිහත් වුණේ නැතිනම් වයිරසය දීර්ඝ කාලයක් පවතීවි’’ යැයි ද ඔහු කීවේය.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති දැඩි සංචාරක සහ ගුවන් ගමන් සීමා චීනයේ ද විරෝධයට හේතුවිය.
චීනය ලෝකය එකට එකතු කරමින් කාලයත් සමඟ දැඩි සටනක් කරමින් සිටින මොහොතක ඇමෙරිකා එක්සත් ජනපදයේ වගකීම් විරහිත ප්‍රකාශ සහ ක්‍රියාමාර්ග වයිරසයට එරෙහි සටනට කිසිදු සහයෝගයක් දක්වන්නේ නැතැයි ද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (11) නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
(රොයිටර්ස්)




ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට


කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් අද (12) නැවත වරක්  6%කින් පහළ ගියේය.
යුරෝපයේ සියලු රටවලට සංචාරක තහනමක් පැනවීමට පියවර ගන්නා බව සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ ප්‍රකාශය එලෙස නැවත තෙල් මිල ගණන් පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවිය.
‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 3.7%කින් පහළ ගිය අතර ඒ අනුව එම වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 32ක් ලෙස දැක්විණි. ‘බ්‍රෙන්ට්’ වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල  3.3%කින් පහළ ගිය අතර එම වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 34ක් ලෙස දැක්විණි.
ඊට පෙර දිනවලදී මෙම වෙළෙඳපොළවල විශාල පාඩු සිදු වූ අතර තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගත් පියවර ද ඊට හේතුවිය.
මේ සතිය ආරම්භයේ සිට ගෝලීය තෙල් වෙළෙඳපොළේ තෙල් මිල ගණන් වේගයෙන් පහළ වැටුණු අතර ඊට ප්‍රධාන වශයෙන් හේතුවූයේ තෙල් නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වයයි.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට ගත් අවස්ථාවේදී තෙල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණු නමුත් කතාවෙන් පසුව තෙල් මිල ගණන් වේගයෙන් පහළ ගියේය. කොරෝනා වයිරසය මේ වනවිට ලොව විශාලතම සහ ඉහළම ආර්ථිකය ලෙස සැලකෙන ඇමෙරිකානු ආර්ථිකයට ද සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇත.
(ඒ.එෆ්.පී.)


Monday, March 9, 2020

කොරෝනා වසංගතයක් බවට පත්වීමේ අවදානමක්


රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබෙන කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මාරාන්තික කොරෝනා වයිරසය ‘ලෝක වසංගතයක්’ බවට පත්වීමේ ‘‘දැඩි අවදානමක්’’ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (9) අනතුරු ඇඟවීය.

කෙසේ නමුත් එය පාලනය කළ හැකි බව ද එම සංවිධානය අවධාරණය කරයි.

‘‘කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් තිබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

‘‘අපි මේ වයිරසය සුළුවෙන් තකන්නේ නැහැ. එහෙත් ලෝක ඉතිහාසයේ පාලනය කළ හැකි පළමු වසංගතය ලෙස මෙය සලකන්න පුළුවන්’’ යැයි ද චීනයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා ඇතැයි ද එහිදි ඔහු කීය.

කොරෝනා ආසාදිතයන්ගෙන් 80,000කට වැඩි පිරිසක් සිටින්නේ චීනයේ යැයි ද ඔවුන්ගෙන් සියයට 70කට වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇතැයි අදනොම් කීවේය.


කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 3,800කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 110,000කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.



කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ බොහෝ රටවල් දැඩි මෙන්ම කිසිවකුත් අපේක්ෂා නොකරන ආකාරයේ පියවර ගනිමින් සිටිති.


කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසා සිරකරුවන් 70,000ක් තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය අද පියවර ගත් අතර ඉතාලිය ඇතුළු රටවල් රැසක් මේ වනවිට පොදු ස්ථාන මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වසා දමා ඇති අතර තවත් බොහෝ රටවල් නගර වසා දමමින් ගමන්බිමන් සීමා කරමින් දැවැන්ත නිරෝධායනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.


පාසල් වසා දැමීම යනාදී ක්‍රියාමාර්ග හේතුවෙන් ලොවපුරා සිටින මිලියන 290කට වැඩි දරුවන්ගේ අධ්‍යාපනයට බාධා එල්ල වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.


කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය කොටස් වෙළෙඳපොළවල දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කරන අතර බොරතෙල් මිල ගණන් ද පහත වැටී ඇත.



කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැස් කරගෙන නිවෙස්වලට වී සිටින්නැයි ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීහු අද එරට වැඩිහිටි සහ විවිධ රෝගාබාධවලින් පෙළෙන ජනතාවට උපදෙස් දුන්හ.


කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේදී ගෝලීය ආර්ථිකයට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.0ත් 2.0ත් අතර පාඩුවක් සිදුවනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ආර්ථික විද්‍යාඥයෝ අද අනතුරු ඇඟවූහ.

ඒ.එෆ්.පී.


’ගෝලීය ආර්ථිකයේ වර්ධනයට කොරෝනා විශාල බලපෑමක්’


කොරෝනා වයිරසය මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය අද (2) අනතුරු ඇඟවීය.

ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය හරි අඩකින්  2.4%ක් දක්වා අඩු වනු ඇතැයි ද එම සංවිධානය පුරෝකථනය කළේය. එය 2008-09 වසරවල ඇති වූ මූල්‍ය අර්බුදයෙන් පසු වාර්තා වූ අඩුම අනුපාතයයි.

http://static.lankadeepa.lk/assets/uploads/image_376d524061.jpg
එම තත්ත්වය පුරෝකථනය කර ඇත්තේ මේ වසරේදී වයිරසයේ බලපෑම අඩු වනු ඇතැයි යන අපේක්ෂාව යටතේ ය. එහෙත් මේ වසරේදී වයිරසය ව්‍යාප්ත වෙමින් සිදුවන බලපෑම ඉහළ නැංවුවහොත් ආර්ථිකයට සිදුවන බලපෑම තවත් ඉහළ යනු ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය.

මේ වනවිටත් මේ වසරේ පළමු කාර්තාවේදී ගෝලීය ආර්ථිකය තරමක අවදානම් තත්ත්වයක පත්ව ඇතැයි ලෝකයේ ප්‍රධාන ආර්ථිකවලට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කරමින් එම සංවිධානය සඳහන් කළේය.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. දෙසැම්බර් මාසයේදී කෝවිඩ්-19 යනුවෙන් හැඳින්වෙන මෙම වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනිණි. ඒ වනවිට චීනයේ ආර්ථිකය සියයට 4.9කින් වර්ධනය වන ඇතැයි අපේක්ෂා කර තිබුණු අතර එහෙත් නොවැම්බර් මාසයේදී නිවේදනය කළ අගයට වඩා‍ 0.8%කින් චීනයේ ආර්ථික වර්ධන වේගය පහත දැමීමට ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයට සිදුවිය.

‘‘චීනයේ නිපැයුම සීමාවෙලා. එය ලෝකයේ අනෙකුත් රටවලටත් බලපාවි’’ යැයි එම සංවිධානය සඳහන් කළේය.

ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය සාමාජික රටවල් 36කින් සමන්විත අන්තර්රාජ්‍ය සංවිධානයකි. ලෝක වෙළෙඳාම සහ ආර්ථික ප්‍රගතිය ඉහළ නැංවීමේ අරමුණින් 1961 වසරේදී මෙම සංවිධානය ස්ථාපනය කරන ලදි.

ඒ.එෆ්.පී.





කොරෝනා නිසා ආර්ථික වර්ධන වේගය පහතට




කොරෝනා වයිරසය ‘‘දරුණු තර්ජනයක්’’ බවත් මේ වසරේදී ආර්ථික වර්ධන වේගය පසුගිය වසරටත් වඩා අඩු වනු ඇති බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා අද (4) ප්‍රකාශ කළාය.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑම නිසා මේ වසරේ ආර්ථික වර්ධනය වේගය පසුගිය වසරේ සියයට 2.9ටත් වඩා අඩු වනු ඇතැයි ද ඇය කීවාය.

‘‘කොරෝනා වයිරසය මේ වෙද්දි කලාපීය අර්බුදයක් නෙමෙයි. එය ගෝලීය අර්බුදයක් බවට පත්වෙලා. ඊට ගෝලීයව ප්‍රතිචාර දැක්විය යුතු’’ යැයි ඇය මාධ්‍යවේදීන් හමුවේ පැවැසුවාය.

මේ වසරේදී ගෝලීය ආර්ථිකය සියයට 3.3කින් වර්ධනය වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල ජනවාරි මාසයේදී පුරෝකථනය කළේය. එහෙත් නව පුරෝකථනයට අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය ආර්ථිකය සියයට 0.5කින් පහත වැටෙනු ඇතැයි පැවසේ.

වයිරසය විශ්වාසයට බලපෑම් එල්ල කරන බවත් වයිරසය මැඬීමට ගන්නා ක්‍රියාමාර්ග ආර්ථික ක්‍රියාකාරකම්වලට බලපෑම් එල්ල කරන බවත් එම නිසා මේ වසරේදී ගෝලීය වර්ධනය පසුගිය වසරට වඩා අඩු බවත් ක්‍රිස්ටලීනා ජෝර්ජීවා කීවාය.

කෙසේ නමුත් කොතරම් දුරට ආර්ථිකය පහත වැටෙනු ඇතැයි කිව නොහැකි බවත් එසේම කොරෝනා වයිරසය කොතරම් කාලයක් බලපෑම් කරනු ඇත්දැයි අනාවැකි කීම දුෂ්කර බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය. 


ඒ.එෆ්.පී.






චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 92කින් පහතට


(හර්ෂණ තුෂාර සිල්වා)

චීන සංචාරකයන්ගේ පැමිණීම පෙබරවාරි මාසයේදී 92%කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් වසරේ (2019) පෙබරවාරි මාසයේදී චීනයෙන් පමණක් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 28,039 වූ නමත් පසුගිය මාසයේදී පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 2,096ක් යැයි ද එම බැංකුව සඳහන් කරයි.

පසුගිය වසර හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස දෙකේදී චීන සංචාරකයන්ගේ පැමිණීම 55.1%කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

http://static.lankadeepa.lk/assets/uploads/image_a1b1ef7e73.jpg
පසුගිය වසරේ සමස්ත සංචාරක පැමිණීම්වලින් (167,863න්)  9%කට හිමිකම් කියා ඇත්තේ චීන සංචාරකයන් වන බව ද මේ වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ජනවාරි මාසයේදී සමස්ත සංචාරක පැමිණීම්  6.5%කින් සහ පෙබරවාරි මාසයේ සමස්ත සංචාරක පැමිණීම්  17.7%කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මාසිකව නිකුත් කළ සංඛ්‍යාලේඛනවල දැක්වේ.

2019 වසරේ ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 244,239කු පැමිණ ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේදී පැමිණ ඇත්තේ සංචාරකයන් 228,434කු පමණි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සංචාරකයන් 252,033 දෙනකු පැමිණ ඇති අතර එය මේ වසරේදී 207,507 දක්වා අඩු වී තිබේ. 




‘‘බැංකු පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යනවා‘‘


ප්‍රතිපත්ති පොළී අනුපාත නොවෙනස්ව පවත්වා ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිවේදනය කළේය.

ඊයේ (4) පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.50 අගයේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.50ත් දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යමින් සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය එම තීරණය ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මුදල් මණ්ඩලයේ මෙම තීරණය උද්ධමනය සියයට 4ත් 6ත් අතර පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර මැදිකාලීන ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීමට සහාය වනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.