Saturday, March 26, 2022

අයි.එම්.එෆ්. වාර්තාව ගැන මහ බැංකුව අදහස් දක්වයි

 

ඡායාරූපය ‌- රොයිටර්ස් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව අනුව යමින් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇතැයි ද එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ඉකුත් දා (මාර්තු 25) ප්‍රකාශයට පත් කරන ලදි.

එමඟින් ශ්‍රී ලංකාව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ හඳුන්වා දී තිබිණි.

ඉකුත් වස‌රේ (2021) අගෝස්තු මාසයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතිකයේ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම, විනිමය වෙළෙඳපොළ ගනුදෙනුවල ඇති සීමා කිරීම් ඉවත් කිරීම, ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාණ භාණ්ඩ සඳහා වෙළෙඳපොළ මත පදනම් ව මිල ගැලපීමට ඉඩ හැරීම යනාදීය එම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය දැනුම් දීමත් සමඟ ඊට සහාය දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් යැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මේ අතර රජයට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තවදුරටත් සවිස්තරව විශ්ලේෂණ සැපයීම සහ ඒ පිළිබඳව රජය අඛණ්ඩව සමීප සංවාදයක නිරත වීමට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව සිය විශ්ලේෂණ අඛණ්ඩව ප්‍රකාශයට පත් කර ඇතැයි ද මහ බැංකුව වැඩිදුරටත් කියයි.


ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදනය - මෙතැනින් 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම හතරවන වගන්තියේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සිදුවිය.

අ) 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්, මූල්‍ය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන සහ පුද්ගලයින් සමඟ සාකච්ඡා පැවැත්වීම,
ආ) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයට නැවත පැමිණීමෙන් පසු නිලධාරී කණ්ඩායම වැඩිදුර පැහැදිළි කිරීම් ඉල්ලා සිටීම,
ඇ) හතරවන වගන්තිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලයේ සාකච්ඡා පැවැත්වීම සහ ඒ වන විට ශ්‍රී ලංකා බලධාරීන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළකිරීම,
ඈ) විධායක මණ්ඩල සාකච්ඡාව අවසන් වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම,
ඉ) හතරවන වගන්තිය යටතේ වූ උපදේශනයෙන් ලබාගත් තොරතුරු පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නිලධාරී කණ්ඩායමක් දිවයිනට පැමිණීම,
ඊ) ශ්‍රී ලංකා බලධාරීන් විසින් අවසන් අවසරය ලබාදීමට කටයුතු කිරීම, සහ
උ) අවසන් වාර්තාව 2022 මාර්තු 25 දින ප්‍රකාශයට පත් කිරීම.

මේ අතර, රජයට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මක විශ්ලේෂණ සැපයීම සහ ඒ පිළිබඳව රජය සමඟ අඛණ්ඩව සමීප සංවාදයක නිරත වීමට අමතරව, මහ බැංකුව සිය විශ්ලේෂණ අඛණ්ඩව ප්‍රකාශයට පත් කර ඇත.

තවද, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. එම ප්‍රතිපත්තීන් වනුයේ, 2021 වසරේ අගෝස්තු මාසයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම, විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනුවලට ඇති සීමාකිරීම් ඉවත් කිරීම, ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාන භාණඩ සදහා වෙළඳපොළ මත පදනම්ව මිල ගැලපීමට ඉඩ හැරීම යනාදියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය පෙන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි සම්බන්ධතාවයකට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටී.





ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව නිකුත් වෙයි

 


  ඡායාරූපය - රොයිටර්ස් 


සාර්ව ආර්ථික ස්ථාරවත්වය සහ ණය තිරසරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් කඩිනමින් ස්ථාපිත කළ යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කරන ලද හතරවැනි වගන්තිය පිළිබඳ සමාලෝචනවලට අදාළ සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ඉහත කරුණු ප්‍රකාශ කර ඇත.

හතරවැනි වගන්තිය පිළිබඳ සමාලෝචන අවසන් වීමෙන් අනතුරුව ඉකුත් පෙබරවාරි මස 25 වැනිදා පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරන ලදි.

සාර්ව ආර්ථික ස්ථාරවත්වය සහ ණය තිරසරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් කඩිනමින් ක්‍රියාත්මක කරන අතරවාරයේ දී අවදානම් සහගත කණ්ඩායම් ආරක්ෂා කළ යුතු බවටත් සමාජ ආරක්ෂණ දැල් භාවිත කරමින් දරිද්‍රතාවය අඩු කළ යුතු බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මෙම සම්පූර්ණ වාර්තාව පිටු 95කින් සමන්විත ය.

                                        

                                                    Tweet - ට්විට් 

ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදයකට සහ ස්වෛරීත්ව ණය අර්බුදයකට එකවර මුහුණ දී ඇතැයි ද එබැවින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තත්ත්වය තිරසර නොවන මට්ටමකට පැමිණ ඇතැයි යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිරීක්ෂණය වී තිබේ.

මේ අතරවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය දැඩි ලෙස පහත වැටී ඇති බවත් කෙටි ණය සේවා අවශ්‍යතා ආවරණය කරගැනීමට එය ප්‍රමාණවත් නැතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

විදේශ විනිමය මූල්‍ය ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග තුළින් කෙටි කාලයේ දී යම් ඉස්පාසුවක් දෙනු ඇති නමුත් 2022 වසරෙන් පසු විදේශ විනිමය විදේශ ණය සේවා වගකීම් කෙසේ විසඳනු ඇත් ද පැහැදිලි නැතැයි ද එම වාර්තාව සඳහන් ය.

සාර්ථක එන්නත්කරණ වැඩසටහන මඟින් සංචාරක කර්මාන්තයේ වර්ධනයට ඉඩ සැලසුව ද සාර්ව ආර්ථික අසමතුලිතතා, විදේශ විනිමය හිඟය, අත්‍යවශ්‍ය නොවන ආනයන අත්හිටුවීම යනාදී කරුණු නිසා ආසන්න සහ මධ්‍ය කාලයේ වර්ධනය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාවේ  සඳහන් වේ

අති විශාල රාජ්‍ය ණය බර හේතුවෙන් මුදල් සහ විනිමය අනුපාත ප්‍රතිපත්තිවලට වඩා වැඩි ඉඩක් රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාවලට ලබා දී ඇති බවත් මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ මිල ස්ථායීකරණ අරමුණුවලට බාධා එල්ල වූ බවත් එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ප්‍රධාන කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රධාන නිර්දේශ පහක් ලබා දී ඇත.

එම නිර්දේශ හඳුන්වා දෙමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරත්වය ඇති කළ යුතු බවත් ඒ සඳහා ආසන්න කාලයේ සහ මධ්‍ය කාලයේ අවශ්‍යතා ආවරණය කරමින් විශ්වාසනීය සහ පැහැදිලි හා අඛණ්ඩ උපායමාර්ගයක් ස්ථාපිත කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබේ. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශේෂිත ක්‍රියාමාර්ග සමඟ ප්‍රතිපත්ති මාලාවක් නිර්දේශ කර තිබේ.


  • සැලකිය යුතු ආදායම් පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතාව. ප්‍රතිසංස්කරණවලදී එකතු කළ ආදායම මත බද්ද (වැට් - VAT) සහ ආදායම් බදු ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එය කළ යුත්තේ අනුපාත වැඩි කරමින් සහ පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග හරහා ය. රාජ්‍ය මූල්‍ය වෙනස් කළ යුත්තේ බලශක්ති මිල ගණන්වල ප්‍රතිසංස්කරණවලට අදාළව. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායවලින් එල්ල වන රාජ්‍ය මූල්‍ය අඩු කිරීම අරමුණු කරගත යුතු ය. ආයතන ගොඩනැගීමේ ප්‍රතිසංස්කරණ කළ යුතු අතර රාජ්‍ය මූල්‍ය නීතිය හරි ගැස්සවීම යනාදිය ඊට ඇතුළත් වේ. මේවා මඟින් උපායාමර්ගයේ විශ්වාසනීයත්වය තහවුරු කළ යුතු ය.

  • ණය තිරසරත්වය නැවත ස්ථාපිත කිරීම සඳහා පුළුල් උපායමාර්ගයක් වැඩි දියුණු කිරීම.

  • උද්ධමන ඉලක්ක තහවුරු කර නොගැනීමට නොහැකි වීම තාවකාලික කරුණක් බව තහවුරු කිරීම සඳහා ආසන්න කාලයේ දී මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම. එමඟින් ශ්‍රී ලංකා මහ සතුව තිබෙන අති විශාල භාණ්ඩාගාර බිල්පත් තැන්පතු ලිහා දැමීම සඳහා මෑතකදී ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති පිළිගන්නා අතර මුදල් අමාත්‍යාංශයේ සමීප සම්බන්ධීකරණය යටතේ එය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු වේ.

  • වෙළෙඳපොළ මඟින් තීරණය කෙරෙන සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතිකයක් සඳහා ක්‍රමයෙන් ගමන් කළ යුතු ය. විනිමය අනුපාතිකයේ අවුල් සහගත චලන සිදුවීම වැළැක්වීම සඳහා සංක්‍රමණ ක්‍රියාවලිය (මාරු වීමේ) පරෙස්සමෙන් කළ යුතු වේ. එමෙන්ම එය පුළුල් සාර්ව ආර්ථික සැකසුමේ කොටසක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය.

  • වියදම් වැඩි කරමින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතු ය. ඒවායේ ආවරණය වැඩි කළ යුතු අතර සාර්ව ආර්ථික වෙනස්කම්වලින් අවදානම් සහගත කණ්ඩායම්වලට එල්ල වන බලපෑම් අවම කිරීම හෝ වෙනතකට හැරවීමට හෝ එම ක්‍රියාමාර්ග ගත යුතු ය.

 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව - මෙතැනින් 




 

·     

 

 

Saturday, March 12, 2022

ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සහාය ගැනීමට යයි?

 


වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ආරංචි මාර්ග තුනක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය ඒ බව වාර්තා කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් විදේශ විනිමය හිඟය කළමනාකරණය කරගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි රොයිටර්ස් වාර්තා වේ දැක්වේ.