Saturday, March 26, 2022

අයි.එම්.එෆ්. වාර්තාව ගැන මහ බැංකුව අදහස් දක්වයි

 

ඡායාරූපය ‌- රොයිටර්ස් 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව අනුව යමින් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇතැයි ද එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ඉකුත් දා (මාර්තු 25) ප්‍රකාශයට පත් කරන ලදි.

එමඟින් ශ්‍රී ලංකාව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ හඳුන්වා දී තිබිණි.

ඉකුත් වස‌රේ (2021) අගෝස්තු මාසයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතිකයේ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම, විනිමය වෙළෙඳපොළ ගනුදෙනුවල ඇති සීමා කිරීම් ඉවත් කිරීම, ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාණ භාණ්ඩ සඳහා වෙළෙඳපොළ මත පදනම් ව මිල ගැලපීමට ඉඩ හැරීම යනාදීය එම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය දැනුම් දීමත් සමඟ ඊට සහාය දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් යැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මේ අතර රජයට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තවදුරටත් සවිස්තරව විශ්ලේෂණ සැපයීම සහ ඒ පිළිබඳව රජය අඛණ්ඩව සමීප සංවාදයක නිරත වීමට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව සිය විශ්ලේෂණ අඛණ්ඩව ප්‍රකාශයට පත් කර ඇතැයි ද මහ බැංකුව වැඩිදුරටත් කියයි.


ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදනය - මෙතැනින් 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ හතරවන වගන්තියට අදාළ නිලධාරීන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එම හතරවන වගන්තියේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි සිදුවිය.

අ) 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්, මූල්‍ය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන සහ පුද්ගලයින් සමඟ සාකච්ඡා පැවැත්වීම,
ආ) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයට නැවත පැමිණීමෙන් පසු නිලධාරී කණ්ඩායම වැඩිදුර පැහැදිළි කිරීම් ඉල්ලා සිටීම,
ඇ) හතරවන වගන්තිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලයේ සාකච්ඡා පැවැත්වීම සහ ඒ වන විට ශ්‍රී ලංකා බලධාරීන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළකිරීම,
ඈ) විධායක මණ්ඩල සාකච්ඡාව අවසන් වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම,
ඉ) හතරවන වගන්තිය යටතේ වූ උපදේශනයෙන් ලබාගත් තොරතුරු පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නිලධාරී කණ්ඩායමක් දිවයිනට පැමිණීම,
ඊ) ශ්‍රී ලංකා බලධාරීන් විසින් අවසන් අවසරය ලබාදීමට කටයුතු කිරීම, සහ
උ) අවසන් වාර්තාව 2022 මාර්තු 25 දින ප්‍රකාශයට පත් කිරීම.

මේ අතර, රජයට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මක විශ්ලේෂණ සැපයීම සහ ඒ පිළිබඳව රජය සමඟ අඛණ්ඩව සමීප සංවාදයක නිරත වීමට අමතරව, මහ බැංකුව සිය විශ්ලේෂණ අඛණ්ඩව ප්‍රකාශයට පත් කර ඇත.

තවද, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. එම ප්‍රතිපත්තීන් වනුයේ, 2021 වසරේ අගෝස්තු මාසයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම, විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනුවලට ඇති සීමාකිරීම් ඉවත් කිරීම, ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාන භාණඩ සදහා වෙළඳපොළ මත පදනම්ව මිල ගැලපීමට ඉඩ හැරීම යනාදියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය පෙන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුව එවැනි සම්බන්ධතාවයකට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටී.





No comments:

Post a Comment