ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයන් තවදුරටත් එම තනතුරුවල රැඳී සිටීමට නම්, අනෙක් සාමාජිකයන් කළ විනාශයට විරුද්ධ වූ බව ඔවුන් තහවුරු කළ යුතු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදාළව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කරයි.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත.
ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය තවදුරටත් මුදල් මණ්ඩලයේ සේවයට කිරීමට කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (10) සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඔවුන් සිය දැඩි විරෝධය පළ කළේ ඒවා මුදල් මණ්ඩලයේ රැස්වීම් වාර්තාවල සඳහන් විය යුතු පෙන්වාදෙයි. සාපරාධී නොසැලිකිමත් තීන්දු තීරණවලට විරුද්ධව ඔවුන් ඡන්දය භාවිත කළ යුතුව තිබුණේ යැයි ද හෙතෙම පෙන්වාදෙයි.
අප මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සමස්ත මුදල් මණ්ඩලය ම සාමූහිකව වගකිව යුතු යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ අනෙක් අයගේ තීරණවලට සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය විරුද්ධ වූයේ නම් ඔවුන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ “මෝඩ” තීරණවලට එරෙහිව ඡන්දය භාවිත කළ යුතුව තිබුණේ යැයි ද හෙතෙම කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විතය.
මහ බැංකුවේ අධිපතිවරයා මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊට නිල බලයෙන් පත්වන අතර ඊට විධායක නොවන තවත් සාමාජිකයන් තිදෙනකු පත් කරගැනේ.
මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයන් පත් කිරීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ.
අධිපතිගේ සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින්ගේ නිල කාලය අවුරුදු හය (6) කි. මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සාමාජිකයින් තිදෙනෙකුගෙන් (3) යුතු ගණපූරණයක් තිබිය යුතු ය.
මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීම සඳහා සාමාජිකයන් තිදෙනෙකුගේ (3) අනුමැතිය අවශ්‍ය වේ. කෙසේ වුවත් ඒකමතික තීරණයක් ගැනීමට අවශ්‍ය වූ විටක දී සාමාජිකයින් පස් (5) දෙනාගේ ම අනුමැතිය අනිවාර්ය වේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තවත් ට්විටර් පණිවුඩ දෙකක් ද නිකුත් කර තිබිණි.
එහි එක් පණිවුඩයක මෙසේ දැක්විණි.
“ප්‍රතිසංස්කරණ කිරීමට විපක්ෂයේ සහාය ලැබෙන බව මා විසින් තහවුරු කරන්නේ යැයි මා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට කීවා. ඔහු මට නොමසුරුව ස්තූති කළා. එහෙත් ආර්ථික අර්බුදයට චෝදනා එල්ල විය යුත්තේ කාට ද එල්ල නොවිය යුත්තේ කාට ද ඔහු තීරණය කළ යුතු බව එමඟින් අදහස් වෙන්නේ නැහැ. ඒක ඔහුගේ රාජකාරිය නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට”.
මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනයෙන් පසුව, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (10) දහවල් තවත් ට්විටර් පණිවුඩ දෙකක් නිකුත් කර තිබිණි.
ඒවායේ මෙසේ දැක්විණි.
“ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා කියන ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ වීමට වගකිව යුත්තේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකු බවත්, ඇතැම් අය ඊට වගකිව යුතු නැති බවත්. ඒක එහෙම නම් ඔවුන් කතා නොකළේ ඇයි ? ඔවුන්ට සවන් දුන්නේ නැතිනම් ඔවුන් ඉල්ලා අස් නොවුණේ ඇයි ? පෞද්ගලික කාරණයක් නැහැ මෙතැන. සමස්ත මුදල් මණ්ඩලය යා යුතු යි”.
“විදේශ විනිමය සහ මුදල් කළමනාකරණය ගැන ස්වාධීන ආයතනයක් වෝහාරික විගණනයක් කළ යුතු යි. ඔවුන් එම තීරණ ගත්තේ ඇයි කියලා අපි දැනගත යුතු යි. කාට ද වාසි ලැබුණේ. ආර්ථිකයට සිදු වූ පාඩුව කොපමණ ද ? කවුද වගකිව යුත්තේ ? කෝ වගවීම ?”
මේ අතර නව අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉතාම උචිත තේරීම් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
තමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සිටියදී ඔවුන් එහි ජ්‍යෙෂ්ඨතම සහ වඩාත් ගෞරවනීය නිලධාරීන් යැයි ද ඔහු කීය.
එපමණක් නොව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලෝක මට්ටමේ ආර්ථික විද්‍යාඥයකු යැයි ද ඔහු පැවැසීය.
අප්‍රේල් 10 වැනිදා ලියන ලද ප්‍රවෘත්තියකි

No comments:
Post a Comment